අරගලය එකම වේදිකාවට ගෙන ඒමට සර්වපාක්ෂික මෙහෙයුමක් ඇරඹේ

රටේ පවතින වත්මන් අර්බුදය විසඳීම සහ දිවයින පුරා පවතින පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක් සඳහා වන මූලික සාකච්ඡාවක් ඊයේ (29දා) නාරාහේන්පිට ජානකී හෝටලයේදී පැවැත්විණි.

‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ සංවිධානයේ මැදිහත්වීමෙන් සංවිධානය කර තිබූ මෙම සාකච්ඡාවට විපක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ ගෝල්ෆේස් අරගලයේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් සැලකිය යුතු පිරිසක් සහභාගි වූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමය බලයෙන් ඉවත් කිරීම සඳහා වන අරගලමය කාර්යයට සිය දායකත්වය ලබාදීමට සූදානම් බවත්, ඒ සඳහා අරගලකරුවන් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවටත් දේශපාලන පක්ෂ නියෝජිතයෝ එහිදී සඳහන් කළහ.

ඒ සඳහා වන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරි සංවාදයකදී පුළුල්ව සාකච්ඡා කොට තීරණයකට එළඹීමටද එහිදී තීරණය කෙරුණු අතර, විවිධ හේතු මත මූලික සාකච්ඡා සඳහා එක් නොවූ දේශපාලන පක්ෂ නියෝජිතයන්ද ඊට සම්බන්ධ කරගනිමින් වඩා පුළුල් මහජන විරෝධයක් ගොඩනැංවීම කෙරෙහිද එහිදී අවධානය යොමු කෙරිණි.

මේ අතර ඊයේ දිනයේ මූලික සාකච්ඡාවට සහභාගි නොවූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය,ජනතා විමුක්ති පෙරමුණේ පාර්ශ්වය සහ පෙරටුගාමී පක්ෂ නියෝජනය කරන කණ්ඩායම් සමග ද සාකච්ඡා කිරීමට එහිදී තීරණය විය.

මෙම සාකච්ඡාව සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, බුද්ධික පතිරණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පියංකර ජයරත්න, 43 සේනාංකයේ ප්‍රධානී, ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන මහත්වරු සහ⁣භාගි වූහ. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් මනෝ ගනේශන්, පී. දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණ වෙනුවෙන් වී. රාධක්‍රිෂ්ණන් සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් යන මහත්වරුද එම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published.