ගතින් ඇමරිකාවේ සිතින් අම්මා ළඟ

රොම්ලස් පෙරේරාගේ ඇහැලේපොළ කුමාරිහාමි නාට්‍යයේ රුක්මණී දේවිය සමඟ ඇගේ නැගණිය ලෙස රඟපාන්නට ලද අවස්ථාව, මගේ රංගන ජීවිතයේ භාග්‍යයක්

අම්මා නිසයි මම නිළියක් වුණේ. අම්මා හරි කැමැත්තෙන් හිටියේ මම චිත්‍රපට නිළියක් වෙනවා දකින්න

ඒ මගේ සැබෑ ජීවිතය නොවේ

ඇය දෙස් විදෙස් පේ‍්‍රක්ෂකයන් ස්වකීය නර්තනයෙන් වශිකෘත කළ නර්තන වේදිනියෙකි. එවක ඇය ශ්‍රී ලංකාවේ පමණක් නොව තුර්කිය, ගී‍්‍රසිය, ඉරානය, ඉරාකය, සයිප්‍රසය ආදී විදෙස් රටවල තරු පහේ හෝටල්වලට නැතිව බැරි නර්තන ශිල්පිනියක් වූවාය. Firelimbbo, ring Dance කෑබරේ   Breakae ආදී රාත්‍රී සමාජ ශාලාවල ආවේණික ජනපි‍්‍රය නර්තන රටාවන් ඇගේ සිරුරේ ලාලිත්‍යයට මනාව ගැළපුණි. රාත්‍රී සමාජ ශාලාවට ගොඩවදින පිරිසගේ මනදොළ සපුරාලීමට සමත් ඇගේ අනුරාගී හැගුම් දනවන නර්තනයෙන් වශිකෘත වූ පේ‍්‍රක්ෂකයන් හෙට දවසෙත් ඇගේ රැඟුම් දැක බලා ගැනීමට යුහුසුලු වෙමින් රාත්‍රී සමාජ ශාලවට ගොඩ වදින්නේ නෙත් සිත් වසඟයට පත් කිරීමට සමත් ඇගේ නර්තනයෙන් මුසපත් වීමටය. මේ සුරූපිනියගේ රූපකාය පමණක් නොව සෝභමාන නාරි ලාලිත්‍යය නර්තනයට ගෙන දුන්නේ චමත්කාරයකි. ආකර්ෂණීයත්වයකි.

රංගන ශිල්පිනයක ලෙස සිනමා ලෝලීන් අතර ජනප්‍රසාදයක් දිනා සිටිය ද ඇගේ රංගනය අබිිබවා මතු වූයේ නර්තන කෞශල්‍යයයි. සිංහල සිනමාවේ පේ‍්‍රක්ෂක ජනාදරයට පත් වූ පෙරළිකාර චරිත රංගනයේ නියැළුණු ඇය සුමනා ගෝමස්ය. සිංහල සිනමාවේ චරිතාංග නිළියන් අතර රංගනයට මෙන්ම නර්තනයට දස්කම් පෑ නිළියන් ඇත්තේ අතළොස්සක් පමණි. ජනපි‍්‍රය සිනමා රැල්ලේ අනුරාගී හැඟුම් දනවන නර්තනයේ හිණි පෙත්තේ සිටි හෙලන් කුමාරි, ෆරීනා ලායිගෙන් පසුව රාත්‍රී සමාජ ශාලා නැටුම් දර්ශන සඳහා නැතිවම බැරි නර්තන ශිල්පිනිය වූයේ සුමනා ගෝමස්ය.

සුමනා ගෝමස් රඟපෑ ඇතැම් පෙරළිකාර භුමිකා හේතුවෙන් සුමනා ගෝමස් නම කියූ සැණින් විවිධ අය විවිධ ප්‍රතිරූප මවන්නට උත්සාහ ගත්හ. ඇතැම්හු ඇයට අපහාස උපහාස කිරීමේ නිරත වූහ. අවතක්සේරු කළහ. ඇගේ රුව රැගත් කටවුට් ඉරා දැමුහ. සමහර උදවිය ඇගේ රුව රැගත් කටවුට් මත කළු තෙල් ගැසූහ. සියලු අපවාද ගැරහුම් පීඩන උපේක්ෂාවෙන් දරා සිටී ඇය සිංහල සිනමාවේ වාණිජ චිත්‍රපට තවදුරටත් ජනපි‍්‍රය කිරීමෙහිලා සිය නර්තන ප්‍රතිභාව දක්වමින් සිය චරිතයට සාධාරණයක් ඉටු කළ නිළියකි. රඟ පෑ ඇතැම් චරිත කළු චරිත සුදු චරිත ද යන්න පිළිබඳ තර්ක විතර්ක ඉදිරිපත් කරනවාට වඩා ඇයට පැවරූණු භූමිකාවට සාධාරණයක් ඉටු කිරීමට ඇගේ එකම අභිප්‍රාය විය.

සුමනා ගෝමස් අද ජීවත් වන්නේ ඇමරිකාවේ නිව්යෝක් නුවර ය. දඟකාර කටකාර යුවතියකි. වුවද ඇය හිත හොඳ පරෝපකාරී චරිතයකි. ඇය රඟ පෑ ඇතැම් චරිත බොහෝ දෙනා අවතක්සේරුවට ලක් කළ ද මේ සියල්ලක්ම සෙලියුලොයිඩ් පටියට පමණක් සීමා වූ චරිත බව බොහෝ දෙනා තේරුම් නොගැනීම නිසා ඇගේ සැබෑ චරිතයට සුදුහුණු ගෑමක් සිදු නොවීය.

මා සුමනා සම්බන්ධ කරගත්තේ What’sapp තාක්ෂණය ඔස්සේ අතිශයින් කාර්ය බහුල මොහොතකදීය.

කොහොමද සැප සනීප?

සතුටින් ඉන්නවා.

මම හිතනවා නිසි කල මම නිසි තීරණයක් අරගෙන ඇමරිකාවට පැමිණීම මගේ අනාගත ජීවිතය සුබවාදී කර ගැනීමට මා ගත් ලොකුම තීරණය කියා. ලංකාවේ සිටියා නම් තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබුණා. ඇය කතාව ඇරඹුවේ එලෙසිනි.

අපේ ගම දෙහිවල. මම ඉගෙන ගත්තේ කරගම්පිටිය බෞද්ධ මිශ්‍ර පාසලේ. පාසලේ දඟකාර සිසුවියක්. නමුත් ගුරුවරුන් මට හරිම ආදරෙයි. නර්තනනයට, රංගනයට, ගායනයට මම හරිම දක්ෂයි. මිශ්‍ර පාසලක් නිසා නිතරම පිරිමි ළමයි සමඟ ගැටුම් ඇති කර ගත්තා. දිනක් පිරිමි ළමයෙක් සමඟ ඇති වූ ගැටුමක් කෙළවර වුණේ ඔහු මගේ අත බ්ලේඩ් එකෙන් කැපූ පසුවයි. ගෙදර දී ගස් නගිනවා. කොල්ල වගේ හැසිරෙනවා කියලා අම්මාගෙන් තාත්තාගෙන් බැනුම්වලින් නම් කෙළවරක් නැහැ. නමුත් ඒ දඟකාරකමට මම ආදරෙයි.

මා දන්නා පරිදි ඔබේ රංගන අත්පොත වේදිකාව. ඔබ වේදිකා නාට්‍ය ගණනාවක රඟපෑ නිළියක්. වේදිකාවෙන් ලැබෙන පන්නරය සිනමා රංගනයට පිටිවහලක්. කොහොමද ඔබේ වේදිකා නාට්‍ය ප්‍රවේශය?

මම කරගම්පිටිය බෞද්ධ බාලිකා මිශ්‍ර පාසලේ සිප් සතර හදාරන අවධියේ පටන් දක්ෂතා දැක්වුවේ රංගනයට, නර්තනයට. පාසලේ විවිධ ප්‍රසංගවලට නැතිවම බැරි ශිෂ්‍යාවක් වුණා. සින්දු කියන්න නටන්න රඟපාන්න කීවොත් මට ඊට වඩා දෙයක් නෑ. අපේ ගමේ පන්සලේ පෙරහැරක් තිබුණා. පෙරහරේ කුලු නැටුමට මාව තෝර ගත්තා. අපේ තාත්තා අම්මා දන්නවා කුඩා කල සිටම අක්කයි මමයි කලාවට කැමති බව. අපේ හැකියාවන් ඔවුන් දෙදෙනා දුටුවා. මගේ අක්කාගේ (රූපා ගෝමස්) සහ මගේ කලා කෞශල්‍යයන් ප්‍රගුණ කිරීමට විශේෂයෙන් මගේ අම්මා අප දෙදෙනාට අතහිත දුන්නා. අක්කා තමයි මුලින්ම නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ. ඇය දයානන්ද ගුණවර්ධන හඳුනාගෙන නාට්‍ය ගණනාවක රඟපෑවා. ඇගේ තනියට අම්මා ගියා. අම්මත් එක්ක මමත් ගියා. මම පුංචි වුණත් ඒ දවස්වල නාට්‍ය ශිල්පීන් මටත් රඟපාන්න ආරාධනා කළා. නමුත් මම කැමැති වුණ් නැහැ රඟපාන්නට. අක්කා ස්ටැන්ලි ද සිල්වාගේ විදුර ජාතකයේ විදුර කුමරිය ලෙස රඟපෑවා. නාට්‍ය කණ්ඩායම විදුර ජාතකයේ සුළු චරිතයක් රඟපාන්නට මටත් අවස්ථාව ලබා දුන්නා. පසුකාලයකදී අක්කා විවාහ වීමෙන් අනතුරුව විදුර ජාතකය විදුර පණ්ඩිතයන්ගේ බිරිඳ විදුර කුමරිය වෙමින් වේදිකාවට ප්‍රවේශ වීමත් සමඟම මට වේදිකා නාට්‍ය ගණනාවක රඟපෑමේ වරම හිමි වුණා.

රෝයි ජයවර්ධනගේ සැලීනා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ එඩී ජූනියර් සමඟ . පුංචි සන්දියේම එවැනි දැවැන්ත රංගන ශිල්පියකු සමඟ රඟපෑමට ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා. මගේ රඟපෑම් දැකලා ඩොමී ජයවර්ධන පුවත්පතක පළ කර තිබෙනවා අනාගතයේ දී දක්ෂ නිළියකගේ ලක්ෂණ මා වෙතින් පෙන්නුම් කරන බව. එය මට ලොකු සහතිකයක්. තිස්ස ඩයස්ගේ සක්මන, ඇන්තනී සී. පෙරේරාගෙ ගිම්හානයේ රැයක සිහිනය, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ලියූ විල්සන් ගුණරත්නගේ පොකුරු වැස්ස. මං ඉතා පි‍්‍රය කළ නාට්‍යයක්. එහි මා රඟපෑවේ සුමනාවතීගේ චරිතය. පේ‍්‍රක්ෂකයන්ගේ ඇසේ කඳුළක් ගෙන ඒමට තරම් සමත් වුණා. සංක්‍රමණය, වංගගිරිය, ඇන්තනි සී පෙරේරාගේ යමලොව පති, සොමී රත්නායකගේ රන් සලකුණ, ගිම්හානයේ රැයක සිහිනය තිස්ස මඩවලගේ මිනීමැරුම ආදී වේදිකා නාට්‍ය ගණනාවක රඟපෑවා.

ඔබ ටවර් හෝල් නාට්‍ය ශිල්පිනියක් නේද?

ටවර් හෝල් නාට්‍ය කිහිපයකම රඟපෑමේ වාසනාව මට හිමි වුණා. රොම්ලස් පෙරේරාගේ ඇහැලේපොළ කුමාරිහාමි නාට්‍යයේ රුක්මණී දේවිය සමඟ ඇගේ නැගණිය ලෙස රඟපාන්නට ලද අවස්ථාව, මගේ රංගන ජීවිතයේ භාග්‍යයක්. රොම්ලස් සිල්වාගේ ශ්‍රී වික්‍රම, ගොන්ගාලේගොඩ බණ්ඩා, අලිබබා ඇඳෙන් එකයි, සූටි ගමරාල ආදී නාට්‍ය කිහිපයක රඟපෑමේ අවස්ථාව හිමි වුණා.

කුණ්ඩලකේශී චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු ඔබ ජනප්‍රිය වාණිජ සිනමාවට අවතීර්ණ වුයේ දිනේෂ් පි‍්‍රයසාද්ගේ පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් කොහොමද ඒ අවස්ථාව හිමි වුණේ?

මම ටෙනිසන් කුරේගේ රැල්ල වේදිකා නාට්‍යයේ රඟ පෑවා. ඒ සබඳතා මත ටෙනිසන් කුරේ මාව දිනේෂ් පි‍්‍රයසාද්ට හඳුන්වලා දුන්නා. පෙරළිකාරයෝ රඟපාන්නට ලැබුණේ ඒ සබඳතා මත. රඟපෑ චිත්‍රපට අතර අනුපමා, බයිසිකලේ, පෙම් රජදහන, දුර්ගා, සසර චේතනා, මව්බිම නැත්නම් මරණය, සලඹක් හඬයි, රජවැඩකාරයෝ, ආසයි බයයි ආදී චිත්‍රපට ගණනාවක්ම තිබෙනවා. වාණිජ සිනමාවේ මම බොහෝ විට රඟපෑවේ රාත්‍රී සමාජ ශාලා නර්තන ශිල්පිනියකගේ චරිත.

ඔබ මාලිනි ෆොන්සේකාගේ සසර චේතනා චිත්‍රපටයේ රඟපෑවා නේද?

ඔව්. ඒ අවස්ථාව මට හිමි කර දුන්නේ කොණ්ඩා මෝස්තර ශිල්පී ලලිත් ධර්මවර්ධන, සසර චේතනා චිත්‍රපටයට නර්තන ශිල්පිනියක් අවශ්‍ය බව මාලිනී ෆොන්සේකා විසින් ලලිත්ට පවසා තිබෙනවා. ඒ දවස් වල කොළඹ තැප්‍රොබේන් හෝටලේ නර්තන ශිල්පිනියක් ලෙස මම කටයුතු කළේ හෝටලයට පැමිණ මගේ නර්තනය දැක මාලිනී ෆොන්සේකාට ඒ බව පවසා තිබෙනවා. මාලිනී ෆෝන්සේකා මාව සසර චේතනා චිත්‍රපටයේ නර්තනයට තෝරා ගත්තා. මම නර්තන ඉදිරිපත් කළේ රෝනල්ඩ් මාස්ටර් එක්ක.

ඔබ පවසනවා ඔබ රංගනයට යොමු කිරීමට ඔබේ මව උනන්දුවක් දැක් වූ බව. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?

මගේ අම්මා ඥානවතී කිරිවත්තුඩුව රූප සුන්දරියක් වගේ ලස්සනයි. කැලෑහඳ චිත්‍රපටයේ රඟපාන්නට අම්මට අවස්ථාවක් හිමිවෙලා තිබෙනවා. නමුත් මගේ පියා ඊට විරුද්ධ වූ නිසා අම්මට නොලැබුණු ඒ වාසනාව ඇගේ දරුවන් හිමිකර දෙන්නට අම්මා පසුබට වුණේ නැහැ. අම්මා නිසයි මම නිළියක් වුණේ. අම්මා හරි කැමැත්තෙන් හිටියේ මම චිත්‍රපට නිළියක් වෙනවා දකින්න. දවසක් සරසවිය පත්තරේ දැන්වීමක් දාලා තිබුණා කුණ්ඩලකේශී චිත්‍රපටය සඳහා ආධුනික නිළියක් අවශ්‍යයි කියා. අපේ අම්මා මටත් හොරෙන් ඉල්ලුම් පත්‍රයක් දාලා මාව සම්මුඛ පරීක්ෂණයට කැඳෙව්වා. තිමති වීරරත්න, විජය කුමාරතුංග තමයි පරීක්ෂණ මණ්ඩලයේ හිටියේ. ඔවුන් මාව කුණ්ඩලකේශී රංගනයට තෝරා ගත්තා.

ඔබේ තාත්තා?

තාත්තා ඩේවිඩ් ගෝමස්. තාත්තා රැකියාව කළේ එලිෆන්ට් හවුස් එකේ. අපිට ඒ දවස් ආහාරවලින් කිසිම අඩුපාඩුවක් නෑ. කන්න බොන්න ඕනෑ තරම් ලංකාවේ හොයාගන්න බැරි විදෙස් රටවලින් ආනයනය කළ ආහාර පවා අපට ලැබුණේ තාත්තා එහි රැකියාව කළ නිසායි. පසුකාලීනව තාත්තා දෙහිවල නගර සභාවේ ඕවර්සියර් ලෙස කටයුතු කළා. අපේ තාත්තා අම්මා පරාර්ථකාමී අය. අන් අයට උදව් උපකාර කිරීමට සැදී පැහැදී සිටිනවා. මට මතකයි ජේ.වී.පී කලබල සමයේ, ගුණදාස කපුගේට සුදුසු ආරක්ෂක ස්ථානයක් සොයා දෙන ලෙස තාත්තාගේ මිතුරෙක් තාත්තාට කළ ඉල්ලීම මත ප්‍රවීණ ගායන ශිල්පී ගුණදාස කපුගේ අපේ ගෙදර කාලයක් නැවතිලා සිටියා. ඔහුගේ මල්ලිත් පසුකාලීනව අපේ ගෙදර නවාතැන් ගත්තා. කපුගේ අයියාගේ මල්ලීට හොඳට ඉංගී‍්‍රසි පුළුවන්. එයා තමයි අපිට ඉංගී‍්‍රසි ටියුෂන් දුන්නේ.

සුමනා ගෝමස් නම ඇසූ සැණින් පේ‍්‍රක්ෂක මතකයේට නැගෙන්නේ පෙරළිකාර චරිතයක්. ඔබ වැඩිහිටියන්ට පමණයි ලේඛලය යටතේ චරිත කිහිපයක් රඟපෑවා. ඒ පිළිබඳව ටිකක් කතා කරමු?

සුනිල් ටී. ප්‍රනාන්දු සමඟ සෝනියා දිසා එක්ව නිෂ්පාදනය කළ රාගයේ උණුසුම, ඇගේ වෛරය එක දෙක ආදී චිත්‍රපට කිහිපයකම රඟපෑමට මට අවස්ථාව හිමි වුණා. මම වෘත්තීය නිළියක්. චිත්‍රපටයක රඟපෑමේ දී මම චරිත තෝරා බේරා ගන්නේ නැහැ. මට පැවරෙන ඕනෑම චරිතයක් රඟපෑමට මට කිසිදු අභියෝගයක් නැහැ. වෘත්තිය නිළියක් ලෙස මා රඟන භූමිකාවට සාධාරණයක් ඉටු කිරීම පමණයි මගේ පරමාර්ථය. කුමන ලේබලය යටතේ චිත්‍රපට ප්‍රදර්ශනය වුණත් මට පැවරුණු භූමිකාව මම සාර්ථකව ඉටු කළා. චිත්‍රපට නිෂ්පාදකවරයාට අවශ්‍ය වන්නේ තමා ආයෝජනය කරන මුදලට ලාභයක් ලබා ගැනීමයි. මා රඟ පෑ මෙම චිත්‍රපට මාලාව බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවා අතිශය ජනපි‍්‍රය වුණා සිනමා ශාලාවට පේ‍්‍රක්ෂකයන් වැල නොකැඩී පැමිණියා. සිනමා කර්මාන්තයට නිෂ්පාදකවරයාට සාධාරණත්වය ඉටු කර තිබෙනවා. මේ මගේ සැබෑ ජිවිතය නොවේ. මේ සියල්ලම චිත්‍රපටවල රූපරාමු පමණයි. මේ රූපරාමු මහත් ආන්දෝලනයට ලක් කරමින් විවිධ අය මට උපහාස අපහාස කරමින් මඩ ගසන්නට පටන් ගත්තා.

පුවත්පත් වලින් මට දොස් නැඟුවා. මට අපහාස කළා. මගේ කටවුට් ගැලෙව්වා. සමහර කටවුට් වල කළු තීන්ත ගෑවා. සමහර කටවුට් ඉරුවා. මට දුෂ්ට දුර්ජනකම් කළා. අපවාදයට අපකීර්තියට ලක් කළා. සුමනා ගෝමස් නම කියූ සැණින් පේ‍්‍රක්ෂකයාට අප්‍රසාදයට පත් කරන තත්ත්වයක් තරමට ඔවුන් මට ගැරහුම් කළා. නමුත් මම මේ කිසිවකින් සැලුණේ නැහැ. මම ඉන්ද්‍රකීලයක් සේ නොසෙල් වී සිටියා. කිසි අපවාදයකින් ගැරහුමකින් මගේ මනස අවුල් කරගත්තේ නැහැ. මා යන ගමනට එය බාධාවක් කර ගත්තේ නැහැ. ගැහැනියක් හැටියට මම එඩිතරයි. හැම දෙයක්ම මම සිතන්නේ ධනාත්මකව ඝෘන සිතිවිලි මා ළඟ නැහැ. මම දිරිය ගැහැනියක්. අද මම ජීවත්වන ආකාරය දෙස බලන විට හිතෙනවා මම තෘප්තිමත් ගැහැනියක් කියා.

සුමනා හිටිහැටියේම ඇමරිකාවට ගියේ?

මා රඟපෑ සැන්ඩෝ හැරිස් ගේ චෙරියෝ සාජන්ට් නාට්‍යය ඇමරිකාවේ වේදිකාගත වුණා. ඒ නාට්‍ය කණ්ඩායමත් සමඟම මම ඇමරිකාවට ගියා. එහිදී මට මිතුරියක් මුණ ගැසුණා. ඒ මිතුරිය තමයි මට ඇමරිකාවේ නවතින්න ඉඩ කඩ සලසා දුන්නේ. මම නැවතුණේ නිව්යෝර්ක්වල. නිව්යෝර්ක්වල මම රැකියා කිහිපයක් කළා. ඒ රැකියා මට සොයා දුන්නේ එම කාන්තාව. මට හිතුණා ආර්ථික වශයෙන් ඇමරිකාව වැනි රටක ජීවත් වීම වඩාත් ජීවිතේට ඵලදායිතාවක් ගොඩනඟා හැකි තත්ත්වයක් උදාවෙයි කියලා.

ඔබ විවාහ වුණේ?

මගේ සැමියා ප්‍රථම වරට මට මුණගැසුණේ රාත්‍රී භෝජනයකදී. එහිදී අප දෙදෙනා අතර ගොඩනගාගත් මිත්‍රත්වය සුහදශීලී බව අවසානයේ දී ආදරේකට පෙරළුණා. ඔහුගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය මැද අපි 2011 වසරේ විවාහ වුණා. ඔහු ඇමෙරිකාවේ නර්සින් හෝම් එකක සූපවේදියෙක් මම රැකියාව කරන්නේ නර්සිං හෝම් එකක. මගේ සැමියා ඉතා හොඳ කරුණාවන්ත මට පණ මෙන් ආදරය කරන පුද්ගලයෙක්. ඔහු වැනි සැමියෙක් ලැබීම වාසනාවක්. මගේ සියලුම ඕනෑ එපාකම් ඉටු කරලා දෙනවා. ඔහුගේ මව සහ පියා මට හරිම ආදරෙයි. ඒ වගේ සැමියෙක් ලබන්න පින් කරලා තියෙන්න ඕනා.

පදිංචි වෙනසක් කළා කිව්වා නේද?

පසුගිය මාසයේ අපි නිව්යෝර්ක්වල සිටි ෆ්ලෝරීඩාවලට පදිංචියට ආවා. සැමියාගේ මහ ගෙදර ඔහුගේ මව සහ පියා සමඟයි. අපි දැන් ෆ්ලෝරීඩාවල පදිංචි වී සිටින්නේ. මගේ සැමියාගේ දෙමාපියන්ගේ නිවසේ මගේ සැමියාගේ මව හෙද නිලධාරිනියක්. පියා බේකරියක සම අයිතිකරුවෙක්. අපි ඉන්න ප්‍රදේශය සංචාරක පුරවරයක්. මට ෆ්ලෝරීඩා වල අලුත් රැකියාවක් ලැබුණා. නර්සිං හෝම් එකක.

ඔබ විදේසගත වී වසර ගණනාවක්. සංස්කෘතිමය සහ ජීවන රටාවේ විවිධ වෙනස්කම් වලට ඔබ භාජනය වෙලා ඇති. ලංකාව දැන් අමතක වෙලා ද?

අපොයි නැහැ. මගේ මව් රට මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම අදටත් ලංකාවේ හිටපු සුමනා ගෝමස් තමයි. මගේ අම්මා මගේ පණ. සුමනා ගෝමස් නැමැති නිළිය පිටිපස සිටි දැවැන්ත සෙවණැල්ල මගේ අම්මා. මම හැමදාමත් අම්මට ආදරෙයි. ගතින් ඇමරිකාවේ සිටියත් මම සිතින් ඉන්නේ හැමදාමත් අම්මා ළඟ. ඇගේ දුක සැප සොයා බලනවා. අවශ්‍ය හැමදෙයක්ම ඇයට එවනවා. මගේ තාත්තා නැති වුණා. අක්කා අයියත් එක්ක අපි හොඳ සහෝදර දයාවෙන් ඉන්නේ. මම ඇමරිකාවට ගිහිල්ලා අවුරුදු විසි දෙකක් වෙනවා. දෙවරක් ලංකාවට ආවා. එක් අවස්ථාවක සුනිල් ටී. ප්‍රනාන්දු සිනමා ක්ෂේත්‍රයේ මගේ යහළුවන් කිහිප දෙනෙක් එකතු කරල සුහද හමුවක් පැවැත්තුවා. ලංකාවට ආපු හැම වාරෙකම මම මගේ අම්මා කැමැති කෑම හදලා දුන්නේ මගේ දෑතින්. ඒක මට ලොකු සතුටක්. සැතපුම් දහස් ගණනක් ඈත දුර රටක හිටියත් සුමනා ගෝමස් නමැති සිනමා තාරකාව හඳුන්වා දුන් මගේ පුංචි ශී‍්‍ර ලංකාවට මෙන්ම සිංහල සිනමාවට මම සදා ණය ගැතියි. ආදරෙයි.

උපුටා ගැනීම

sarasaviya.lk

Leave a Reply

Your email address will not be published.