පක්ෂ පාට බෙදීම් අමතක කරලා එක මහජන ව්‍යාපාරයක් හදමු

ශ්‍රීලංකා, ජේවීපී, කොමියුනිස්ට්, යූඑන්පී, බේදයකින් තොරව සියලු පක්ෂ පාට බෙදීම් අමතක කර එක මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට එක්වන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සියලුම ජනතාවට ආරාධනා කර සිටී.

ඔහු මෙලෙස ආරාධනා කළේ අද (28) මාතරදී පැවති “ආණ්ඩුව පන්නමු” විරෝධතා පාගමන අවසානයේ පැවති රැලියට එක්වෙමිනි.

අති විශාල ජන කායකගේ සහභාගිත්වයෙන් පැවති එම රැලියේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක වැඩිදුරටත් මෙසේ පැවසීය,

“සියලු පක්ෂවල අයට අපි ආරාධනා කරනවා. අපි බෙදිල ඉන්න ඇති. පාරම්පරික අලියෝ හැටියට ඉන්න ඇති. පාරම්පරික ශ්‍රී ලංකා කාරයෝ විදිහට ඉන්න ඇති. මේ මාතරනම් පාරම්පරික කොමියුනිස්ට් කාරයෝ හැටියට ඉන්න ඇති. විවිධ පක්ෂවලට, කඳවුරැවලට බෙඳිලා හිටියා. හැබැයි අපි බෙදිලා ඉඳලා අන්තිමට අපි ඔක්කොටම ලැබිල තියෙන්නේ මොකක්ද?

ශ්‍රීලංකා, ජේවීපී, කොමියුනිස්ට්, යූඑන්පී, බේදයකින් තොරව අපි ඔක්කොම එකට පෝලිමේ හිටියා. එකට ගෑස් නැහැ, එකට පොහොරටික නැහැ, එකට බඩුටික නැහැ, එකට පාසල් වහලා. අපි ඔක්කොම එකට මේක විඳිනවා. එහෙනම් මොකක්ද කරන්න ඕනා?

අපි බෙදෙන එක නතරකරමු. අපි සියලුදෙනාට ආරාධනා කරනවා, අපේ සියලු බෙදීම් අත්හැරලා, සියලු පාට පක්ෂ බේද අත්හැරලා එක මහජන ව්‍යාපාරයක් හදමු. ඒ මේ රට ගොඩනැගීමේ මහජන ව්‍යාපාරය, මේ රට බාරදීමේ මහජන ව්‍යාපාරය. අන්න ඒ වෙනුවෙන් අපි හැමකෙනාම එකතුවෙමු.

අද මුළු රටම එකතැන නතරවෙලා තියෙන්නේ. මේ ව්‍යසනයට විරුද්ධව නැගී හිටින්න ඕන කියලා ධෛර්ය තියෙන, විශ්වාසය තියෙන, අධිෂ්ඨානයකින් ඉන්න ඔබ, හැම ගමකම මේ සටන අවුළවන්න ඕනා. ඔබ ජීවත්වෙන ගමේ ජනතාව පාරට කැඳවන්න ලෑස්ති කරන්න. අපි දිනයක් කියන්නම්. එදාට මුළු රටම එක තැනකට බැහැලා මේ පාලකයන් පලවා හරින සටන දියත්කරමු. ඒ වෙනුවෙන් එකතුවෙමු.”

Leave a Reply

Your email address will not be published.