පෙට්‍රල් ලීටර් 10ක් දෙන බව කියා 10,000ට විද්ද මාවනැල්ලේ අංගුට්ටා රිමාන්ඩ්

ලීටරයක් රුපියල් 1000 බැගින් පෙට්‍රල් ලීටර් 10ක් දියහැකි බව සඳහන් කරමින් රියැදුරෙකුගෙන් රුපියල් 10,000ක මුදලක් ගෙන පලා ගිය ලියාපදිංචි අපරාධකරුවකුව අත්අඩංගුවටගත් පොලිසිය ඔහුව මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (27) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ ධනුෂ්ක වජිරසිංහ නැමැති මාවනැල්ල මෙඩේරිගම පදිංචිකරුවෙකි.

කොරියාවේ රැකියාවක නිරතව පැමිණ සිටින මාවනැල්ල අම්බුළුගොඩ පදිංචිව සිටින පුද්ගලයකු මෙම වංචාවට හසු වී තිබේ.

එම පුද්ගලයා ඔහුට අයත් ත්‍රීරෝද රථයකින් මාවනැල්ල ඉන්ධන පෝලිමේ රැඳී සිටියදී ඉකුත් 24 වැනි දා ඔහු අසලට පැමිණි සැකකරු රුපියල් 10,000කට පෙට්‍රල් ලීටර් 10ක් අලෙවි කිරීමට ඇති බව සඳහන් කර ඇතැයි පොලීසිය කියයි. පෝලිමේ රැඳී සිටිනවාට වඩා වැඩි මිලට හෝ ඉන්ධන ගැනීමේ අපේක්ෂාවෙන් තවදුරටත් පෝලිමේ රැඳී නොසිටීමට තීරණය කළ එම පුද්ගලයා සැකකරුගේ මඟ පෙන්වීම මත මාවනැල්ල නාදෙණිය ප්‍රදේශයට ගොස් තිබේ. එහිදී සැකකරු මුදල් හා බූලි දෙකක් ද රැගෙන ඉන්ධන රැගෙන එන්නම් යැයි පවසා පිටව ගොස් ඇති බව පොලීසිය කියයි.

පැය කිහිපයක්ම එම ස්ථානයේ ත්‍රීරෝද රථය නතරකරගෙන සිටි එම පුද්ගලයා තමා වංචාවකට හසුවී ඇති බව වටහාගෙන ඒ බව මාවනැල්ල පොලිස් ස්ථානයට පැමිණ පැමිණිලි කර තිබේ.

මාවනැල්ල පොලීසියේ අපරාධ අංශය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඇති ආරක්ෂක කැමරාද පරීක්ෂාකර සැකකරුව හඳනාගෙන පෙරේදා (26) අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.