“කොවිඩ් වසංගතය අවසන් නැත” – රටවල් රැසකින් රෝගීන් ඉහළට

කොවිඩ් – 19 වසංගතය  වෙනස් වෙමින් පවතින නමුත් එය අවසන් වී නොමැති බවත් රටවල් 110 ක රෝගීන් වැඩිවෙමින් පවතින බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

“මෙම වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය අවසන් වී නැත. කොවිඩ් – 19 වෛරසය හඹා යාමේ අපගේ හැකියාව තර්ජනයට ලක්ව ඇති බැවින් වාර්තා කිරීම සහ ජානමය අනුපිළිවෙල අඩුවෙමින් පවතින අතර එයින් අදහස් වන්නේ ඔමික්‍රෝන් නිරීක්ෂණය කිරීම සහ අනාගත නැගී එන ප්‍රභේද විශ්ලේෂණය කිරීම දුෂ්කර වෙමින් පවතින බවයි, යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අද්නම් ගෙබ්‍රියේසිස් ඊයේ කියා සිටියේය.

‘බී.ඒ.5’ සහ ‘බී.ඒ.4’ යනු ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ මෙතෙක් හඳුනාගෙන ඇති උප ප්‍රභේද වන අතර, මෙම උප ප්‍රභේද දෙක අතරින් ද වඩාත් වේගයෙන් ව්‍යාප්තිය සිදුවන්නේ ‘බී.ඒ.5’ ප්‍රභේදය යැයි හඳුනාගෙන තිබේ.  

ඒ අනුව සමස්ත ගෝලීය රෝගීන් 20% කින් වැඩි වීමට එය හේතු වී ඇත. 

මාධ්‍ය වෙත කරුණු දක්වමින් වෛද්‍ය ටෙඩ්‍රෝස් අද්නම් පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ජනගහනයෙන් අවම වශයෙන් සියයට 70 ක් එන්නත් කරන ලෙස සියලුම රටවලින් ඉල්ලා ඇති බවයි.

පසුගිය මාස 18 තුළ කොවිඩ් මර්ධන එන්නත් බිලියන 12 කට වැඩි ප්‍රමාණයක් ගෝලීය වශයෙන් බෙදා හැර තිබේ. 

“මිලියන සිය ගණනක් සෞඛ්‍ය සේවකයින් සහ අඩු ආදායම්ලාභී රටවල වැඩිහිටි පුද්ගලයින් ඇතුළු මිලියන සිය ගණනක් එන්නත් ලබා නොගෙන සිටිති, එයින් අදහස් කරන්නේ ඔවුන් අනාගත වෛරසයේ රැළි වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවයි,” යැයි වෛද්‍ය ටෙඩ්‍රෝස් අද්නම් පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් අවධාරණය කළේ එන්නත් කිරීම සම්බන්ධයෙන් වඩාත් අවදානම් කණ්ඩායම් යාවත්කාලීනව තබා ගැනීම වැදගත් බවයි.

Leave a Reply

Your email address will not be published.