හමුදාව පොලිසිය ජනතාව සමග සිට ගන්නා දිනය වැඩි ඈතක නොවේ

මේ දූෂිත ආණ්ඩුව පන්නන්න සැලසුම් හදලා ඉවරයි. අපි දිනය වේලාව කියන්නම් සූදානමින් සිටින්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (29 දා) පස්වරුවේ පානදුරේ දී පැවසීය.

‘ආණ්ඩුව පන්නමු – පාරට බහිමු’ යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවයක් එදින පස්වරුවේ පානදුර නගරයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායකයා මෙසේද පැවසීය.

රටේ ආදායම වෙනුවෙන් භාණ්ඩාගාරයට එන්න ඕන සල්ලි මැති ඇමතිවරුන්ගේ එකවුන්ට්වලට හරවල. ඒ නිසා රටේ තියෙන්නේ දැන් ආර්ථික අර්බුදයක්. මේ ආර්ථික කඩාවැටීමට වගකියන්න ඕන පුරවැසියන් නොවෙයි. ඒ නිසා වැටී ඇති මේ රට ගොඩගන්න ජාතික ජන බලවේගය සූදානම්.

මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන, වෘත්තීය සමිති සංගම් සමග සාකච්ඡා කරමින් යන්නේ. හමුදාව පොලිසිය ඉන්නේ කලකිරීමෙන්. ඔවුන් අපිට දැනුම් දී තියෙනවා අපි කෙලින් තීරණයක් ගන්නවා නම් ඔවුන්ද තීරණයක් ගන්නවා කියලා. ඒ නිසා හමුදාව පොලිසිය මේ සටනේ දී ජනතාව සමග සිට ගන්නා දිනය වැඩි ඈතක නොවේ.

හමුදාව පොලිසිය ඉන්ධන පිරවුම්හල්වල දී ජනතාවට බනින්නේ ජනතාව ගැන තරහින් නොවෙයි . ගෝඨාභය රාජපක්ෂ ගැන තරහින්. ඒ නිසා පිරවුම්හල්වල දී හමුදාව පොලිසිය සමග ගැටුම් ඇතිකර ගන්න යන්න එපා.

මේ පාලකයින් ගැන දැන් ජනතාව කිසි විශ්වාසයක් නෑ. විශ්වාසය බිඳවැටිලා. මේ පසුවන්නේ තීරණාත්මක අවස්ථාවක. රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න අපි අදියර තුනක් යටතේ සැලසුම් කරනවා. එක මේ දූෂිත පාලනය පන්නා දැමීම. දෙක තාවකාලික පාලනයක් ගොඩනගා රටේ මූලික අවශ්‍යතා නගාසිටුවීම තුන මහමැතිවරණයකට ගොස් යළි මෙවන් ව්‍යසනයකට රට පත් නොවීමට කටයුතු කිරීම.

මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා. ඒ නිසා පළමු අදියර වන මේ දූෂිත පාලකයන් පන්නා දැමීමට දිනය සහ වේලාව කියන්නම්. සූදානම්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published.