රාජ්‍ය සේවය රටට බරක් – නාලක ගොඩහේවා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ රජය පවත්වන සාකච්ඡා අවසානයක් නොමැතිව දිගින් දිගටම ඇදෙන්නේ මේ වනතුරුත් රජය අර්බූදයෙන් ගොඩ ඒම සඳහා නිශ්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කොට නැති නිසා බව පොහොට්ටුවේ මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

“අපට තිබෙන අර්බූදයට කෙටි කාලීන විසඳුම යම් විදේශ ණයක් ලබා ගැනීම බව කවුරුත් දන්නවා. රජය IMF සාකච්ඡා වලින් බලාපොරොත්තු වෙන්නේත් එයමයි. නමුත් ණය ආපසු ගෙවීම පිළිබඳ දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් රජය ඉදිරිපත් කරන තුරු අපට කිසිවෙක් ණයක් දෙන්නේ නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි දිගු කාලීන විසඳුම් සොයා ගත යුතුයි. මේ ආණ්ඩුව නිදහසට කාරනා කියමින් ඉන්නවා මිස මේ කරුණු ගැඹුරින් සාකච්ඡා කරනවා මට පෙනෙන්නේ නෑ.

2021 වසරේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 3,521 ක්. මින් රුපියල් බිලියන 2,748 ක් වර්ථන වියදම්. ඒ තුළ රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 1115ක් තිබුණා.

රජයට අයත් ව්‍යාපාර 420 කට වඩා තිබුණත් මහා භාණ්ඩාගාරය ඉන් වැදගත් කොට සලකන්නේ ආයතන 52 ක් පමණයි. මේ ව්‍යාපාර අතු‍රින් ආයතන තුනක 2021 වසරේ පාඩුව රුපියල් බිලියන 270 ඉක්මවනවා.

මේ වන විට රජයට අයත් ව්‍යාපාර, අධිකාරීන්, දෙපාර්තමේන්තු හා තවත් විවිධ ආයතන 1000 කට වඩා තිබෙනවා. මේ බොහෝ ආයතන රජයට කිසිඳු ආකාරයක ආදායමක් ලබා දෙන්නේ නැහැ. රටේ කාර්යක්ෂමතාවයට මේ ආයතන හා ඒවායේ සේවකයන් විශාල බාධාවක්.

මේ වන විට රාජ්‍ය සේවකයන් 1,402,000 සේවයේ යෙදී සිටිනවා. අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල792,000ක්. ප්‍රාදේශීය සභා හා පළාත් පාලන ආයතනවල, 390,000ක්. රාජ්‍ය ව්‍යපාරවල , 220,000ක්. 2021 වසරේ මේ අය සඳහා වැටුප් හා දීමනා රුපියල් බිලියන 845 ක් වැයවුනා. මීට අමතරව විශ්‍රාමිකයන් 672,000 ක් සිටිනවා. 2021 වසරේ මේ අය සඳහා විශ්‍රාම වැටුප් රුපියල් බිලියන 270 ක් වැයවුනා. මේ ආකාරයට බලන විට ප්‍රමාණය ඉක්මවා සේවකයන් සිටිනා රාජ්‍ය සේවය රටට අනවශ්‍ය බරක්” බවයි පොහොට්ටුවේ මන්ත්‍රීවරයා කියන්නේ.

Leave a Reply

Your email address will not be published.