අඩුම මිලට පයින් ගසා ගෑස් ටොන් ලක්ෂයක් අරන්

  • ඩොලර් 96 ටෙන්ඩරය අහෝසි කර 129ට අනුමැතිය දීලා
  • පරීක්ෂණයක් කරන්නැයි කෝප් සභාපතිගෙන් නිර්දේශ

අඩු මිලට ගෑස් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය අහෝසි කොට අමෙරිකන් ඩොලර් 129 බැගින් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් කරන ලෙස කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා පෙරේදා (5) නිර්දේශ කළේය.

මීට පෙර පැවති කෝප් කමිටුවේ දුන් නියෝග ක්‍රියාවට නැංවීම සහ වත්මන් කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලිට්රො ගෑස් ලංකා සමාගම, ලිට්රො ගෑස් ටර්මිනල් ලංකා (පෞද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට පෙරේදා කැඳවූ අවස්ථාවේදී සභාපතිවරයා මේ නිර්දේශ දුන්නේය.

පසුගිය පෙබරවාරි මස වන විට ගෑස් මිලදී ගැනීම සඳහා තිබූ වාර ටෙන්ඩරය අවසන් වූ බැවින් ගෑස් මෙට්‍රික් ටොන් 2,80,000ක් සඳහා ටෙන්ඩර් කැඳවන ලද බවත් ඒ අනුව ගෑස් සැපයුම්කරුවන් තිදෙනෙක් ලංසු ඉදිරිපත් කොට ඇති බවත් මෙහිදී හෙළි විය.

මෙහිදී සියාම් ගෑස් සමාගම අමෙරිකන් ඩොලර් 96 බැගින් අවම මිල ඉදිරිපත් කොට ඇති අතර, ඒ අනුව ටෙන්ඩරය දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එහෙත් ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංසු කැඳවීමේදි දන්වා සිටි කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් (Standby Letter of Credit / SBLC) ලිට්රො ආයතනයට ඉදිරිපත් කිරීමට මෙරට බැංකුවලට නොහැකි වීම නිසා එම සියාම් සමා‍ගම හරහා ගෑස් ගැනීමට නොහැකි වූ බව ද මෙහිදී ලිට්රො නිලධාරීහු ප්‍රකාශ කළහ.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගම සමඟ සාකච්ඡා පැවත් වුව ද ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් කළ කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් නැතිව ගෑස් සැපයීමට සමාගම අකමැත්ත පළ කළ බව ලිට්රො සමාගමේ නිලධාරීහු මෙහිදී පැවසූහ.

මේ ප්‍රමාදය නිසා සියාම් සමාගමෙන්ම තාවකාලික විසඳුමක් වශයෙන් සති දෙකකට අවශ්‍ය දළ ගෑස් ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 15,000ක් හදිසි මිලදී ගැනීම් ලෙස ගැනීමට සාකච්ඡා කළ ද ඔවුන්ට සැපයිය හැකි වන්නේ මෙට්‍රික් ටොන් 6,600ක් පමණක් බව දන්වා සිටීම නිසා එය ද අසාර්ථක වූ බව මෙහිදී හෙළි විය. එහෙත් වාර ටෙන්ඩරය සඳහා අමෙරිකන් ඩොලර් 129කට මිල ගණන් එවා තිබූ ඕමාන සමාගම මසකට ගෑස් මෙට්‍රික් ටොන් 25,000 බැගින් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මාස 4ක් දීමට එකඟත්වය පළ කළ බව ද ලිට්රො සමඟම පැවසීය.

ඒ අනුව ඉහත කරුණු කැබිනට් මණ්ඩලයට දැන්වීමෙන් අනතුරුව සියාම් ගෑස් සමාගමට දී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අවලංගු කොට ඕමාන සමාගමෙන් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනීමේ වාර ටෙන්ඩරය සඳහා කැබිනට් අනුමතිය ලැබුණු බවත් මෙහිදී අනාවරණය විය.

ඒ සඳහා ලෝක බැංකුවේ අමෙරිකන් ඩොලර් මිලියන 70ක ණය ආධාරයක් සහ ලිට්රො සමාගමේ අමෙරිකන් ඩොලර් මිලියන 20ක් යොදා අමෙරිකන් ඩොලර් මිලියන 90ක් වැය කරන බවත් ලිට්රො සභාපති මුදිත පීරිස් මහතා මෙහිදී පැවසීය.

ගෑස් අවශ්‍යතාව අත්‍යවශ්‍ය හදිසි තත්ත්වයක් වුව ද අවම ලංසුකරු වන සියාම් සමාගම වෙනුවට වැඩි මිලට ඕමාන සමාගමෙන් මිලදී ගැනීම ඉදිරියේදී නරක පූර්වාදර්ශයක් සැපයිය හැකි බැවින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කොට ලෝක බැංකු අමෙරිකන් ඩොලර් මිලියන 70ක මුදල ඵලදායි ලෙස යොදා ගත්තේ ද යන්න සොයා බලා වාර්තා කරන ලෙස මෙහිදී කෝප් සභාපතිවරයා විගණකාධිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඉන්දීය ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද අමෙරිකන් ඩොලර් මිලියන 160ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම පිළිබඳ ද කමිටුවේ අවධානය යොමු විය.

ඉන්දීය රජයේ කොන්දේසි අනුව එරට නිෂ්පාදනයක් නොවන ගෑස් මිලදී ගැනීම ගැටලුවක්ව ඇති බව මෙහිදී ලිට්රො සභාපතිවරයා පවසා සිටියේය. මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව ද මෙහිදී අනාවරණය වූ අතර, මේ පිළිබඳ කඩිනමින් සොයා බලා සති දෙකක් තුළ වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

ලිට්රො සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනට පත් කර ඇති සාමාජිකයන් ගණන 4 දෙනකු පමණක් වීම පිළිබඳත් මෙහිදී අවධානය යොමු විය. නෛතික තත්ත්වය අනුව සාමාජිකයන් 5 දෙනකු සිටිය යුතු බවත් අනාවරණය විය. තව ද අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම කරන්නේ මුදල් අමාත්‍යාංශය බැවින් මව් සමාගමේ නියෝජිතයන්ගෙන් සමන්විත වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව මෙහිදී පෙන්වා දුන් අතර, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි යන තනතුරු දෙකම එකම පුද්ගලයකු දැරීම පිළිබඳ ද මෙහිදී සාකච්ඡා විය. සමාගමේ සභාපති තනතුර වෙනස් වුව ද ස්ථිර ප්‍රධාන විධායක නිලධාරි තනතුරක් පැවතීම ආයතනයේ යහ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා කඩිනමින් කටයුතු කිරීමේ වැදගත්කම කමිටුව අවධාරණය කරන ලදි.

මේ අර්බුදකාරි තත්ත්වය සමනය වූ වහාම ඒ සඳහා කටයුතු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ වන විටත් තීරණයක් ගෙන ඇති බව ලිට්රො සභාපතිවරයා පැවසීය. ඒ සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගෙන වාර්තා කරන ලෙස කමිටුව නිර්දේශ කළේය.

ලිට්රො සමාමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මඟින් ලිට්රො සමාගමට මූල්‍ය සහාය ගැනීමට ඇති හැකියාව පිළිබඳ ද මෙහිදී අවධානය යොමු විය.

සමාගම සතු රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීම නිසා පසුගිය කාලයේ ගෑස් මිලදී ගැනීමේ හැකියාව ලැබුණු බව එහිදී රක්ෂණ සංස්ථාවේ සභාපති විජිත හේරත් මහතා පැවසීය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සමන් ප්‍රනාන්දු, රක්ෂණ සංස්ථාවේ සභාපති ලිට්රො හිටපු සභාපති විජිත හේරත්, ලිට්රො සමාගමේ සභාපති මුදිත පීරිස් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් ද මේ අවස්ථාවට පැමිණ සිටි අතර ලිට්රො සමාගමේ හිටපු සභාපති තෙෂාර ජයවර්ධන මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ මේ අවස්ථාවට සම්බන්ධ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ, අනුර කුමාර දිසානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර, ඉන්දික අනුරුද්ධ, එස්.එම්. මරික්කාර්, ජයන්ත සමරවීර, ආචාර්ය නාලක ගොඩහේවා, ප්‍රේම්නාත් සී දොළවත්ත සහ මධුර විතානගේ යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.