සර්වපාක්ෂික අරගලකරුවන් හා විපක්ෂ දේශපාලන නියෝජිතයින් අතර පොදු සම්මුතියක්

‘පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක්’ වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සහ පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති සහ අරගලකරුවන් එක් කරන ‘අරගලය දිනවන සම්මුතිය’ මහ සමුළුව ඊයේ(06) දින පස්වරුවේ කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්වින.

මෙහිදී ගාලුමෝදර අරගලකරුවන් සහ විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් අතර පොදු සම්මුතියක් සඳහා එකඟතාවක් ඇති කරගෙන තිබේ.ඒ අනුව අරගලකරුවන්ගේ පාර්ශය විසින් කරුනු 4කින් සම්මුතියක් සභාගත කෙරුණු අතර ඊට සහභා වු සියලු දෙශපාලන පක්ෂවල එකඟතාව හිමිව තිබේ.

අදාළ වැඩසටහනේදී අදහස් දක්වමින් සර්ව පාක්ෂික අරගලකරුවෝ හි සභාපති මංජුල සමරසේකර පළ කළේ මෙවන් අදහසකි.

“අරගලය තීව්‍ර කිරීම සඳහා ජූලි 9 කියන දිනය ප්‍රකාශයට පත්කරලා තියෙනවා. එය කිරීමට පැහැදිලි වැඩපිලිවෙලක් ,ගමන් මාර්ගයක් ඔවුන් පවසලා තියෙනවා. අපිට දැඩි වගකීමක් තියෙනවා. ඊට වඩා විශාලම වගකීම පැවරී තිබෙන්නේ දේශපාලනඥයින් හා සිවිල් ක්‍රියාකාරීන් ලෙස ඔබටයි. හොඳින් මතක තබාගත යුතුයි මෙය පොදු සමාජයම, පීඩිත පන්තියේ සියලුදෙනාම අපි දිහා ඇහැ ගහගෙන ඉන්නේ. ඒ නිසා ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉතා අවංක  සහ දැඩි කැපවීමෙන් යුතු මැදිහත්වීමක්. එය නොකර පොදු මහජනතාව ඉදිරියට ඡන්දය ඉල්ලාගෙන යෑමට ඔබටවත් පොදු ජනතාව සමඟ මුසුවීමට අපටවත් හැකියාවක් ලැබෙන එකක් නෑ.”

අදාළ සම්මුතිය සම්බන්ධයෙන් එම අවස්ථාවට එක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළ කළේ මෙවන් අදහසකි.

“රට පරිවර්තනාත්මක යුගක් කරා ගෙන යෑමේ අභිලාෂයෙන් නිර්මාණය වූ මේ සම්මුතිය ශක්තිමත් කිරීමට අපි සැමවිටම කැපවී සිටිනවා. දසක ගණනාවක රාමුවකට කොටුවෙලා ක්‍රියාත්මක වූ ක්‍රමවේදය පිළිබඳ තියෙන ගැටුම්කාරී මතිමතාන්දරවලට, අදහස්වලට අපි ගරු කරනවා. ඒ අදහස්වලින් බිහිවිය යුතු පෙරගමන්කරුවන් බවට අරගලයේ ඔබ කරන්නාවු කාර්යභාරයට අපේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිය එකතුකරනවා.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එහිදි මෙසේ අදහස් පළ කළේය.

“සෑම වේලාවෙම මම තමුන්නාන්සේලාගේ අරගල ව්‍යාපාරයට ආශිර්වාද කළා. අපි සහයෝගය දෙන බව ප්‍රකාශ කළා. අපිට ආ දුර වගේම යන්න තියෙන දුර අභියෝගාත්මකයි. සමහර වේලාවට අපි මේ ගෙන යන ව්‍යාපාරය කඩකප්පල් කරලා පවතින ආණ්ඩුව ඒ විදියටම බලයේ ඉන්න නොයෙකුත් ක්‍රම භාවිත කරන්න පුළුවන්. අපි මෙයට සහය ලබාදෙන්නේ, සුබ පතන්නේ මේ අරගලය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ විනයගරුකව මෙය කරන නිසයි.”

දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා,

“සෑම සර්වපාක්ෂීක අරගලකරුවො විදියට ඔබ සංවිධානය ඉදිරිපත් කරපු වැඩපිළිවෙලේ පොඩි අඩුවක් මම දැක්කා.සේනාධි ගුරුගේ සහෝදරයාගෙ කතාවෙන් ඒ අඩුව පොඩ්ඩක් නිවරදි වුනා කියල මම හිතනවා. මේ රටේ ප්‍රශ්න ලයිස්තු ගත කරද්දි ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ජාතික ප්‍රශ්නය.මේ අරගලය සිංහල,මුස්ලිම්,දෙමළ අරගලයක් නොවෙයි. ඉදිරියේ හදන ආණ්ඩුවත් රටත් සිංහල,මුස්ලිම් දෙමළ ආණ්ඩුවක් කරන්න එපා. රටත් සිංහල දෙමළ මුස්ලිම් රටක් කළ යුතුයි.”

සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ ලේඛම් සමිත් බොධිපක්ෂ මහතා,

“සෑම මෙය ඓතිහාසික අවස්ථාවක්. අරගලය අලුත් වටයකින් පණලබන අවස්ථාවක්. අපි සර්වපාක්ෂික අරගලකරුවො විදියට භාර ගත්තෙ බරපතල භාරදුර වගකීමක්.විශේෂයෙන් දේශපාලන සංවිධානයක් විදියට මෙවැනි කාර්යයක් සංවිධානය කිරීමම දැලි පිහියෙන් කිරිකනව වගේ වැඩක්. නමුත් කවුරු විසින් හෝ මෙම කාර්යභාරයට වගකීම කළයුතුව තිබුනා.එසේ පෙනෙන්නට නොතිබු නිසා මෙය ජාතික වගකීමක් ලෙස පුරවැසියන් විදියට දේශපාන සංවිධානයක සාමාජිකයන් ලෙස අප මෙයට මැදිහත් විය යුතුයි කියල තීරණය ඇරන් අපි මේ අවදානම ගනු ලැබුවා. අප විශ්වාස කරනවා අද දවසේ එලඹුන සම්මුතිය සමග අප ගනු ලැබු අවදානම අවදානමක් වී නොමැති බව. ඒ අවදානම ගනු ලැබු සියලු දෙනාට ස්තුති කිරීම මෙම සංවිධානයේ ලේඛම් වරයා විදියට මගේ වගකීම .”

Leave a Reply

Your email address will not be published.