මුළු රටක් සටන් වදිද්දී කුමන්ත්‍රණකාරී පවුලකට දිනන්න බැහැ

රට ගිනි අරන් තිබියෙදී ගෝටා-රනිල් ජෝඩුව ගිනිකෙළි සන්දර්ශන බලමින් ඉන්නවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (08) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුකදී අවධාරණය කළේය.

බත්තර මුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්ලාලයේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“රටේ තත්වය දවසින් දවස බරපතළ වෙමින් පවතිනවා. මාස කිහිපයකට පෙර ආර්ථික අර්බුදයක් ඇතිවී එය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් රට බරපතළ බිඳ වැටීමකට ලක්වී තිබෙනවා. අගමැති ඉල්ලා අස්වී නව අගමැතිවරයෙක් පත්කර ගත්තත් රාජ්‍ය සේවය බිඳ වැටීම, දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම, රෝහල් පද්ධතිය බිඳ වැටීම, ගෑස් සහ ඉන්ධන සැපයීම බිඳ වැටීම වළක්වන්න හැකිවී නැහැ. පෝලිම්වල දිග වැඩිවී, පෝලිම්වල ඉන්න දවස් ගණන වැඩිවී, පෝලිම්වල මිනිසුන් මිය යාමත් පෝලිම්වල ගැටුම් ඇති වී මිය යාම දක්වාත් වර්ධනය වී තිබෙනවා. ආහාර ප්‍රශ්නය තව තවත් බරපතළ වී තිබෙනවා. අර්බුදය දවසින් දවස බරපතළ වෙමින් යනවා. එක පැත්තකින් තෙල් නැව්වලට ගෙවන්න සල්ලි නැහැ. තෙල් ගේන්න රට ගිය ඇමතිවරු හිස් අතින් ඇවිත් තිබෙනවා. ජනතාව ප්‍රශ්න විසඳන ලෙස ආණ්ඩුවට බලකරමින් අරගල කරනකොට ජනාධිපති, අගමැති ඩබල විනෝදයෙන් ඉන්නවා. රට ගිනි අරන් තිබියෙදී මේ ජෝඩුව ගිනිකෙළි සන්දර්ශන බලමින් ඉන්නවා. අගමැතිත්, ජනාධිපතිත් ස්නායු මැරුණු, ඒගොල්ලෝ හදාගත් ලෝකයක ඉන්න අය. රට විනාශයට පත්වී තිබියදී, අඩුම ගණනේ විනාශය වළක්වන සැලැස්මක්වත් හදාගන්න බැරිවෙලා. ජනතාවට කනගාටුව ප්‍රකාශ කරන්නවත් හැඟීමක් නැහැ.

ජනතාවට දැන් ආණ්ඩුව පළවා හැරීමෙන් තොරව වෙන උත්තරයක් නැහැ. රට ගොඩගන්න පුළුවන් ආණ්ඩුවක් හදා ගන්න අලුත් ජනවරමකට ඉඩදී අගමැතිත්, ජනාධිපතිත් ප්‍රමුඛ ආණ්ඩුව පළවා හරින්න ඕනෑ. එයින් තොරව ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මාර්ගයක් නැහැ. ලෝකයේ වෙනත් රටවල නම්, මෙවැනි අර්බුදයකදී තනතුරු අත්හැරීමට නිහතමානී වෙනවා. මේ ගොල්ලෝ මිනිසුන් මරාගෙන හරි තනතුරුවල ඉන්න උත්සාහ කරනවා. මේ නිසා ආණ්ඩුව පළවා හරින තුරු එකදිගට සටන් කරන්න ජනතාවට සිදුවී තිබෙනවා. මුළු රටම එකතු වෙලා මේ පාලනය පළවා හරින්න සටනක් තිබෙනවා. ඒ වෙනුවෙන් කාලයක් තිස්සේ අරගල සිදුකරමින් පවතිනවා. නව වෙනිදා ගෝල්ෆේස් කණ්ඩායම් විසින් සංවිධානය කර තිබෙන අරගලයට පූර්ණ සහයෝගය පළකරනවා. ගෝල්ෆේස් අරගල කණ්ඩායම හත්වැනිදා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිතයින් මුණගැසුණා. මේ අරගලය සාර්ථක කර ගන්න අපේ උපරිම සහයෝගය ලබාදෙන අතර, ජනතාවගේ සහයෝගය ලබාදෙන්න කියලත් ඉල්ලා සිටිනවා. නොනවතින අරගල රැල්ලක් ඉදිරියට ගෙනගොස් ආණ්ඩුව පළවා හරිමු කියන ඉල්ලීම අපි කරනවා.

මේ අරගල පැනනැගී තිබෙන හේතුවට ආණ්ඩුව පිළියම් යොදනවා වෙනුවට කුමන්ත්‍රණකාරී ලෙස අරගල කරන ජනතාව මර්දනය කරන්න කටයුතු කරනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධ කරමින් නොයෙකුත් ප්‍රචාර දියත් කර තිබෙනවා. සාමකාමී අරගලය ජන පීඩක ආණ්ඩුවකින් ආරක්ෂා කර ගන්න සිදුවී තිබෙනවා. අරගලකරුවන් සාමකාමිත්වය ඉක්මවා ගොස් කටයුතු කර නැහැ. එම අරගලය ප්‍රචණ්ඩකාරී බවට පත්කරන්න කුලී හේවායින් කණ්ඩායම් ආණ්ඩුවෙන් යොදවා තිබෙනවා. මාර්තු 31 වැනිදා මිරිහානේ ඇතිවූ සිදුවීම පිටුපස මේ කුලී හේවායන් හිටියා. අප්‍රේල් 19වැනිදා රඹුක්කන වෙඩි තබමින් දියත් කළ ප්‍රචණ්ඩත්වය පිටුපස ආණ්ඩුව හිටියා. මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගලකරුවන්ට ඍජුවම ප්‍රහාර එල්ල කළෙත් ආණ්ඩුවයි. ගම්වල ප්‍රචණ්ඩත්වය ඇති කරන්න හෙල්මට් දාගෙන බයිසිකල්වලින් ආ කණ්ඩායම් සමග ආණ්ඩුවේ පැරා මිලිටරි කණ්ඩායම් සිටි බවට සැකයක් තිබෙනවා. 09 වැනිදා අරගලය පිළිබඳව ආණ්ඩුව දැනගත් පසුව එය කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් දියත් කළා. පොලිස්පති ආරක්ෂක ලේකම්ට ලියූ ලිපියකින් කළු කොටි සැමරීමට මුවාවී බෝම්බ ප්‍රහාර එල්ල කළ හැකි බවට දන්වා තිබුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂයේ තවත් පක්ෂ, ප්‍රාදේශීය දේශපාලනඥයන්ට පහර දෙන සැලැස්මක් තිබෙන බවත් සඳහන් කර තිබෙනවා. තහවුරු කළ නොහැකි අසත්‍ය තොරතුරු අඩංගු ලිපියක් පොලිස්පතිවරයා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපි අපේ විරෝධය පළ කළා.

ඊට පස්සේ ආණ්ඩුව ප්‍රකාශ කළේ තහවුරු නොකළ තොරතුරු මත ඒ ලිපිය යැවූ බවයි. ඒ වගේම පෙට්‍රල් බෝම්බ හදන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් තිබෙන බවට වීඩියෝවක් මුදාහැර තිබුණා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා රටට කරුණු පැහැදිලි කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළා. ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් පොලිසිය සිදුකර නැහැ. මේ සාමකාමී අරගලය ප්‍රචණ්ඩත්වයට පත්කර මර්දනය කිරීමේ වුවමනාවක් ආණ්ඩුවට තිබෙනවා. අපි ආණ්ඩුවට අනතුරු හඟවන්නේ “ඔයගොල්ලෝ කිහිපදෙනෙක්, පවුලක්. ඔයගොල්ලන්ට විරුද්ධව මුළු රටක් සටන් වදින්නේ” කියලා. රටක් සටන් කරනකොට මර්දනය කරලා නවත්වන්න බැහැ. එහෙම මර්දනය කරන්න ලෝකයේ කොහේවත් හැකිවී නැහැ. ඒ වගේම ජනතාවට අවධාරණය කරන්නේ සටන තුළට ප්‍රචණ්ඩත්වය ගෙනත් දුර්වල කරන්න තිබෙන උත්සාහය පරාජය කරන්න කියලා. අරගලය තුළට ආණ්ඩුවේ ඔත්තුකරුවන් රිංගවා ප්‍රචණ්ඩකාරිත්වය ඇති කරන්න උත්සාහ ගන්න පුළුවන්. ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසුවෙන්න කියලා අපි ජනතාවට අවධාරණය කරනවා. රටේ කොහේ වුණත් පවතින අරගල ප්‍රචණ්ඩකාරිත්වයට ගන්න කවුරුන් හෝ යෝජනා කරනවා නම්, එම අදහස පරාජය කරන්න කියලා අපි කියනවා. ගල් කැටයක්වත් අරගලයට ගෙන යන්න එපා කියලා අවධාරණය කරනවා. නිරායුධ අරගලයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. කොතනක හෝ ප්‍රචණ්ඩකාරිත්වයක් ඇති කළහොත් ඒ සමස්ත වගකීම ආණ්ඩුව බාරගත යුතුයි. මේ ආණ්ඩුව පළවා හරින තුරු අඛණ්ඩව ගෙනයන සටනට අපි නායකත්වය දෙනවා.”

Leave a Reply

Your email address will not be published.