රෝහල් පද්ධතිය ස්වයංක්‍රීයව වැසේවි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

රෝහල් පද්ධතිය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (08) දින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබාදීමට නියමිතව තිබුණද හදිසියේම ඊයේ දින බලධාරීන් විසින් එය පැය 48කට කල් දැමීමට හේතු නිශ්චිත ලෙස පැහැදිලි කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබා දීම පැය 48කට කල් දමා ඇත්තේ රටේ පවතින වර්තමාන තත්ත්වය මත බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබෙන අතර එයට බලපා ඇති කාරණා පැහැදිලි කළ යුතු බවයි.
සෞඛ්‍ය වෘත්තිකයින්ට ඉන්ධන ලබා දීම හදිසියේ අත්හිටුවීමට නිශ්චිතව කරුණු දක්වා නැතත්, හෙට දවසේ ක්‍රියාත්මක වීමට නියමිත අරගලය හේතුවෙන් එය කඩාකප්පල් කිරීමේ යටි අරමුණකින් මෙලෙස සෞඛ්‍ය අංශ වෙත ඉන්ධන නිකුත් කිරීම හිටි හැටියේ ම නවතා දැමීමට කටයුතු කිරීම කුමන්ත්‍රණයක් යැයි තමන්ට සිතෙන බව ද ප්‍රකාශ කළා.
මේ අතර වත්මන් පාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අවස්ථාවක ඊට කන් නොදෙන්නේ නම්, පාලනය පලවා හැරීම වෙනුවෙන් එළඹෙන සතියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමර්ග ගැනීමට පැකිලෙන්නේ නැති බවයි අලුත්ගේ මහතා කියා සිටියේ.
එළඹෙන සඳුදා, අඟහරුවාදා දිනය වන විට මෙම අර්බුදය විසඳුවේ නැත්නම් රෝහල් පද්ධතිය ස්වයංක්‍රියව වැසී යාම වැලැක්විය නොහැකි බවයි අලුත්ගේ මහතා පැවසුවේ.
වැඩ වර්ජනයකට හෝ කැඳවූයේ නැති මාතෘ රෝහල්,පිළිකා රෝහල්, ළමා රෝහල්, වකුගඩු රෝහල් පවා අද පවත්වාගෙන යාම අර්බුදයටක ලක්ව ඇති බව ඔහු කියා සිටියා.
එහෙයින් මෙම අර්බුදය කළමනාකරණය කිරීමට පාලකයන් වහා ම ක්‍රියා කල යුතුව ඇති බවයි ඔහු පැවසුවේ.
මේ වන විට රෝහල් කාර්ය මණ්ඩලය වෙත සේවයට වාර්තා කිරීමේ හැකියාව නැතිවෙමින් තිබෙන අතර ගිලන් රථ සඳහා ද ඉන්ධන ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුව තිබෙනවා.
“සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන නිකුත් කරන පිරවුම් හල් 113 හරහා කඩිනමින් එය ලබා දීමට සඳුදා හෝ අඟහරුවාදා වන විට හෝ ක්‍රියාමර්ග ගන්න වෙනවා. රෝහල් විවෘතව තබාගැනීමට නම් අවශ්‍ය වැඩපිළිවෙල තහවුරු කරන්න කියල අපි කියනවා.” ‍යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර පවතින සමාජ ආර්ථික අර්බුදය ගැන ද වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියා.
ජනතා පරමාධිපත්‍යයට ගරු කර නව පාලනයක් ඉල්ලා සිටින්නේ නම් ඊට ඉඩ ලබා දීමට වත්මන් පාලකයන් ක්‍රියා කළ යුතුව ඇති අතර, ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකරදීමට මැදිහත් විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.
මීට අමතරව ඉදිරියේ දී දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදුවන මොහොතක, අවධානය යොමු කළ යුතු අංශ ගැන ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන් ම වර්තමානයේ රට පවතින තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා වන ජාතික වැඩපිළිවෙලක් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව සහය දෙන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.