ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ශක්තියෙන් ආණ්ඩුවට අවසන් පණිවිඩය දෙමු – විපක්ෂ නායක

රටේ සහ පුරවැසියන්ගේ සකලවිධ බලාපොරොත්තු සුනු විසුණු කර මුළුමහත් රටම අතිශය බරපතළ ඛේදවාචකයකට තල්ලු කර දමා ඇති රජයට අවසන් පණිවිඩය නිකුත් කළ යුතු මොහොත පැමිණ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
වසර දෙකකට වැඩි කාලයක් පුරා අදුරදර්ශි, උද්ධච්ච සහ අන්තනෝමතික පාලනය තුළින් රටට උරුම වී ඇත්තේ ඛේදනීය වර්තමානයකුත්, අන්ධකාර අනාගතයකුත් පමණක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
මීට එරෙහිව, සමගි ජන බලවේගය නොනවතින අරගලයක යෙදුණු අතර, නිර්පාක්ෂික සිවිල් සමාජය තුළද ආණ්ඩුවට එරෙහි බලවත් ප්‍රතිවිරෝධයක් ඉස්මතු වී ඇතැයි ඔහු පෙන්වා දෙනවා.
එහි තීරණාත්මක අවස්ථාව වූයේ ගාලුමුවදොර දින අනූවක් සම්පූර්ණවූ පුරවැසි අරගලයයි.
පැන්සලක් හෝ පින්සලක් සමග විරෝධතා පුවරුවක් පමණක් රැගෙන සාධාරණත්වයේ සහ මිනිස්කමේ නාමයෙන් උදාර අපේක්ෂා පෙරදැරිව අරගල කරන පුරවැසි පරම්පරාවට එරෙහිව මර්දනයේ බයිනෙත්තුව හෝ තර්ජනයේ වහසිබස් දෙඩිය හැක්කේ කුරිරු ආඥාදායක මිලේච්ඡත්වයකට පමණක් බව සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.
එහෙත් මෙම රජය විසින් එයද සිදු කරනු ලැබූ අතර ඔවුන්ගේ අරගලය, බලසම්පන්න විධායක ජනාධිපතිවරයාත්, තුනෙන් දෙකක් ඇති බවට වහසිබස් දෙඩූ ආණ්ඩුවත් බිත්ති හතරක් මැද කොටු කිරීමට සමත් වූ බව ඔහු සඳහන් කළා.
මේ මහා අරගලය ආරම්භ වූ මොහොතේ සිට අරගලයේ අරමුණු සහ ඉලක්ක අපගේ අරමුණු සහ ඉලක්කවලටද සමපාත වූ බැවින් ඔවුන්ගේ අරගලයට අපේ ආශීර්වාදය හිමි විය.
හෙට (09) එහි තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති අතර එම ජනතා අරගලයට සමගි ජන බලවේගයේත් සමගි ජන සන්ධානයේත් පූර්ණ ආශිර්වාදය, සහ සහයෝගය අපි නොපිරිහෙලා ලබාදෙමු.
මේ තත්ත්වයෙන් කුපිත ව සිටින ආණ්ඩුව දැන් වෑයම් කරන්නේ ප්‍රාථමික සහ මිලේච්ඡ ප්‍රතික්‍රියා මගින්, මේ රටේ වීදිබට ජනයාගේ ශිෂ්ට සම්පන්න අපේක්ෂාවන් සමග උමතු ගැටුමක යෙදීමටය.
ආණ්ඩුව තමන්ට හුරු පුරුදු ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය, නැමැති හලාහල විෂ යොදා මේ මහා ජනතා අරගලය අපවිත්‍ර කිරීමට සියලු කටයුතු යොදමින් සිටින බව ද විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ මොහොතේ උද්ගතව පවත්නේ මේ රටේ සමස්ත ජනතාවගේ විරෝධතාවයයි. වේදනාවයි. විරෝධතාවය උදෙසා ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහි වීමට කිසිදු බලවේගයකට අයිතියක් නොමැති අතර ජනතා වේදනාවට සහ විරෝධයට එරෙහිව රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි නොදෙන ලෙසට සියලු ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවයි ඔහු කියාසිටියේ.
ආරක්ෂක අංශ සිදු කළ යුත්තේ පුරවැසියා ආරක්ෂා කිරීම මිස ආණ්ඩුව ආරක්ෂා කිරීම නොවන බව ද ඔහු අවධාරණය කරනවා.
ආණ්ඩුවේ කූඨ සහ බියගුළු අරමුණුවලට හසු නොවී කටයුතු කිරීමත්, අවිහිංසාව පෙරදැරිව මේ මහා පුරවැසි අරගලය විජයග්‍රහණය දක්වා රැගෙන යාමත් අප සියලු දෙනා සතු වගකීමක් වන අතර ඒ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය උදෙසා අපගේ සියලු ශක්තීන් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published.