ඉන්ධන පෝලිමේ ඝාතනය

අද අලුයම ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට ආනාවරණය වී තිබේ.

දින කිහිපයක සිට අදාළ ඉන්ධන පෝලිමේ රැඳී සිටි මෝටර් රථයක හිමිකරු හමුවීම සඳහා එම ස්ථානයට ඔහුගේ මිතුරෙකුත් එම මිතුරාගේ මිතුරෙකුත් සහ මිතුරාගේ සොහොයුරාගේ බිරිඳ පැමිණ තිබේ.

එම පිරිස මෝටර් රථය පෝලිමේ තිබියදී තේ පානය කිරීමට හෝටලයකට ගොස් ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව නැවත එම පිරිස අදාළ ස්ථානයට පැමිනීමේදී අදාල මෝටර් රථයට ඉදිරිපසින් තවත් මෝටර් රථයක් නතර කර තිබීමත් සමඟ මෙම ආරවුල ඇතිවී තිබේ.

මෙම අවස්ථාවේ දෙපිරිස අතර බහින්බස් වීමක් සිදුව එය දුරදිග යාමෙන් අනතුරුව ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.

මෙහිදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී මෝටර් රථයේ හිමිකරු සහ මියගොස් ඇති පුද්ගලයාගේ මිතුරාද තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අචිර සාලින්ද නම් (25) හැවිරිදි වියේ පසුවූ යටගල වංචාවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මියගිය තරුණයාගේ පියා යුද හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ජයසිකුරු මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුව 2015 වසරේදී තරුණයාගේ මවද රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරුව මවගේ නැගණිය යටතේ අධ්‍යාපනය හැදෑරූ ඔහු එම තරුණයා කොතලාවල විද්‍යා පීඨයේ සිවිල් ඉංජිනේරු උපාධිය හදාරා එම උපාධිය අපේක්ෂාවෙන් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

රටේ පවතින වාතාවරණය හමුවේ තමන් ඉදිරියේදී රටින් පිටව යාමට අපේක්ෂා කරන බවද මියයාමට පෙර ඔහු ප්‍රකාශ කළ බව ඔහුගේ මවගේ නැගණිය අපවෙත පැවසීය.

මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 7දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එම සැකකරුවන් අතර ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාද සිටින බවය.

Leave a Reply

Your email address will not be published.