කොරෝනා පරීක්ෂණයෙන් තෝරා දෙන ක්‍රීඩකයෝ අද ශ්‍රී ලංකා ටෙස්ට් පිලට

කොරෝනා රැල්ලකට හසු වී තිබෙන ශ්‍රී ලංකා පිලේ අවසන් සංචිතය නම් කිරීම පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල මත තීරණය වන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය උදෙසා අවසන් ක්‍රීඩකයන් 13ක සංචිතයක් ලැයිස්තුගත කළද ඒ කවුද යන්න පවා ප්‍රසිද්ධ කිරීම කොරෝනා වයිරස් තත්ත්වය හමුවේ අපහසු යැයි ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේය.

පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඇන්ජලෝ මැතිව්ස් කොරෝනාවට ගොදුරු වූ අතර, ඔහු සුව අතට පත්වෙද්දී කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෝ 4ක් කොරෝනා වයිරස පරීක්ෂණයේදී ධනාත්මක වූහ. ප්‍රවීන් ජයවික්‍රම, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දු කොරෝනා වයිරස හේතුවෙන් ක්‍රීඩකයන් රැඳී සිටි ස්ථානයෙන් ඉවත් කොට වෙනත් හෝටලයකට රැගෙන ගොස් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.

පළමු ටෙස්ට් තරගයේදී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කිරීමට කටයුතු කළ අතර, මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මනසිංහ හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයන් ටෙස්ට් සංචිතයට නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය. පසුව ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හා ලක්ෂාන් සඳකැන්ට කැඳවීමක් ලැබිණි.

“කොරෝනා වයිරස පරීක්ෂණයෙන් ධනාත්මක නොවුණත් රෝග ලක්ෂණ තියෙන කිහිප දෙනකුම සිටිනවා. ඒ නිසා හරිම අමාරුයි අවසන් කණ්ඩායම කියන්න. ධනංජය වෙනුවට කමිඳු මෙන්ඩිස් හොඳම තේරීමක් ධනංජය වෙනුවට ඕෂධ ප්‍රනාන්දුත් ඉන්නවා. නමුත් අපේ නිත්‍ය දඟ පන්දු යවන්නන් අනුව කමිඳු ද ඕෂධ ද කියා කල්පනා කරන්න වෙනවා. වැඩි අවස්ථාවක් කමිඳුට තිබෙනවා” දිමුත් පැවසීය.

“ගාලු තණතිල්ල මුල් දින දෙක තුනේදී පිතිකරුවන්ට වාසි ලෙස සකස් වෙයි කියා හිතනවා. දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ලක්ෂාන් සඳකැන් හා ප්‍රභාත් ජයසූරිය යන සිව්දෙනාගෙන් දෙදෙනකුට මේ තරගයේ අවස්ථාව තියෙනවා. තුන් ඉරියව් ක්‍රීඩකයකුට වැඩි වාසි ලැබෙයි”

ඊයේ වන විට තෝරා තිබූ ක්‍රීඩකයන් 13ට දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු ඇතුළත් බව ද කරුණාරත්න පැවසීය.

මේ අතර පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ විශාල වෙනසක් නොකිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කොට ඇත. කෙසේ වෙතත් මිචෙල් ස්ටාක් වෙනුවට අංක 8 ස්ථානයේ ක්‍රීඩා කිරීමට ග්ලෙන් මැක්ස්වෙල්ට අවස්ථාවක් හිමිවීමේ වෙනස දැකගත හැකිය. මැක්ස්වෙල් මීට පෙර අංක 8 ස්ථානයේ පන්දුවට පහර දී ඇති අතර, 2012-13 ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලියේදී හයිද්‍රාබාද්හිදී සිය මංගල තරගයේදීය. තවමත් ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කොට ඇති 32 හැවිරිදි මැක්ස්වෙල් 2017දී බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් තරගයකදී පන්දුවට පහරදී නැත.

මැක්ස්වෙල් ටෙස්ට් සංචිතයේ මුල් සාමාජිකයකු නොවූ නමුත් ආරම්භක තරගයට පෙර ට්‍රැවිස් හෙඩ් ආබාධයකට ලක් වීම හේතුවෙන් ටෙස්ට් පිලට කැඳවීමක් ලැබුණේය.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 10ක ජයක් වාර්තා කළ අතර‍ දින 5ක ටෙස්ට් තරගයේ හරි අඩක් වූ තෙවැනි දින දිවා විවේකයේදී තරගය නිමා විය. එබැවින් තරග දෙකකින් සමන්විත වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටී.

Leave a Reply

Your email address will not be published.