සාරංගි ලෝක ශූරතා සිහින අත්හරී

ශ්‍රී ලංකා දුර පැනීමේ ශූරි සාරංගි සිල්වා අමෙරිකාවේ ඉයුජින්හිදී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ කෙරෙහි අවධානය යොමු කරමින් ඇය ලෝක ශූරතාවලියට එක් වීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

කාන්තා දුර පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට (මීටර් 6.65) හිමිකම් කියන ඇය තිරස් පැනීම් ඉසව්වකින් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ද වෙයි.

මින් පෙර ශ්‍රේණිගත කිරීම් අනුව 34 වැනි ස්ථානයේ පසු වූ සාරංගි පසුව ලෝක ශූරතාවලියට සුදුසුකම් හිමි කර ගන්නා අවසන් ක්‍රීඩිකාවන් 32 අතරට පැමිණීමට සමත් වූවාය.

කෙසේ වෙතත් මේ වන විට සාරංගිගේ දස්කම් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ජයග්‍රහණය කළ හැකි මට්ටමේ තිබෙන බැවින් ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනා දීමේ අරමුණින් ඇය ලෝක ශූරතාවලිය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇත. එම තරගාවලියට විශේෂ පුහුණුවීමක් සඳහා සති අන්තයේ තුර්කිය බලා පිටත්ව යෑමට නියමිත ඇය එහිදී සිය පෞද්ගලික පුහුණුකරු සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ඉලක්ක කර අවසන් පුහුණුවීම්වලට එක් වෙයි.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 15 වැනිදා සිට අමෙරිකාවේදී පැවැත්වීමට නියමිත අතර, මින් පෙර යුපුන් අබේකෝන්, නිලානි රත්නායක සහ ගයන්තිකා අබේරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගත්හ.

Leave a Reply

Your email address will not be published.