ජනපති බලතලවලට මුවා වී දියත් කරන මර්දනය හෙළා දකිමු.

හෙට (09දා) දිනයේ ගොඩනැඟෙන පොදු මහජන මහා විරෝධතාව අඩපණ කිරීමේ අරමුණින්, මහජනතාවගේ සාමකාමී රැස්වීමේ අයිතිය වළක්වාලමින්, ශ්‍රී ලංකා රජය අත්තනෝමතික ලෙසත්, නීතිවිරෝධී ලෙසත් අද (08දා) රාත්‍රියේ සිට කොළඹ පොලිස් බල ⁣ප්‍රදේශ කිහිපයක් සඳහා ඇඳිරි නීතිය පනවා ඇත.මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි පරිච්ජේදයේ දක්වා ඇති මූලික අයිතිවාසිකම්වල 14 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති භාෂණයේ නිදහස, ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස, සාමකමීව රැස්වීමේ නිදහස යන මූලික අයිතිවාසිකම් පැහැදිලි ලෙසම කඩකිරීමක් බව නිවේදනයක් නිකුත් කරමින් සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය කියා සිටී.

එම නිවේදනයෙන් තවදුරටත් ඔවුන් පෙන්වා දෙනු ලබන්නේ,

එමෙන්ම ප්‍රවෘත්ති නිවේදනයක් මගින් පනවා ඇති මෙම ‘පොලිස් ඇඳිරි නීතිය’ නමැති මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාහේ නීතිවිරෝධී බව අපගේ හැඟීමයි. ඇඳරි නීතිය පනවන්නේ නම් එය ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු අතර, එය මහජන ආරක්ෂක පනතේ 16 වැනි වගන්තිය යට⁣තේ සිදු කළ යුතු බව අපගේ දැනීමයි. එ⁣මනිසා මේ පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවය.

එමෙන්ම හෙට දිනයේදී කොළඹ නගරයේ සියලු දුරකථන සම්බන්ධතා බිඳ වට්ටවාලමින් සාමකාමී අරගලය අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කිරීම සඳහා වන රජයේ පාර්ශ්වවල සූදානමක් පිළිබඳවද තොරතුරු වාර්තා වී ඇත. එය ඉහත කී මූලික අයිතිවාසිකම්වලට අහිතකර ලෙස බලපාන පුද්ගල නිදහස සීමා කරනු ලබන ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීමක් බවද අවධාරණය කර සිටී.

උක්ත සිද්ධීන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ මේ අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගනිමින් ශ්‍රී ලංකේය ජනතාවගේ අයිතීන් ආරක්ෂා කර දෙන්නැයි මෙරට පිහිටි සියලු තානාපති කාර්යාලවලින් සහ ජාත්‍යන්තර සංවිධානවලින් ශ්‍රී ලාංකික පොදු මහජනතාව වෙනුවෙන් ඔවුන් ඉල්ලා සිටී.

තවද ඉහත පරිදි දුරකථන සංඥා සහ සම්බන්ධතා බිඳවැට්ටවීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය ලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට අප කටයුතු කරන බවද සදහන්.

එමෙන්ම අන්තර්ජාලය භාවිතයෙන් රැකියා සහ ව්‍යාපාර සිදු කරන සැලකිය යුුතු පිරිසක්ද, නිවසේ සිට රාජකාරි කරන විශාල පිරිසක්ද අදාළ ප්‍රදේශවල සිටින බැවින් ඔවුන් මේ හරහා දැඩි අසීරුතාවකට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇති බවත් එහෙයින් පෙර කී පරිදි දුරකථන සම්බන්ධතා බිඳවැට්ටවීමට කටයුතු කරන්නේ නම් අදාළ සියලු සමාගම්වලට සහ ඊට දායක වන සියලු පාර්ශ්වවලට එරෙහිව වන්දි නඩු පැවරීමට අප කටයුතු කරන බවද ඔවුන් අවධාරණය කර සිටී.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂාවට මුවා වී දියත් කිරීමට සූදානම්ව ඇති මෙම මර්දනකාරී කුමන්ත්‍රණමය වැඩපිළිවෙළ දැඩි පිලිකුළෙන් යුතුව හෙළා දකිනු ලබත්, මේ රටේ සුවහසක් මහජනතාව ආරක්ෂා කරගත යුතුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ජනපීඩක ආණ්ඩුවෙන් විනා,හෙට රැස්වන සාමකාමී අරගලකරුවන්ගෙන් නොවන බවද අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published.