හෙට අරගලයට පක්ෂ රැසක සහය

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් හෙට (9) කොළඹදී පැවැත්වෙන දැවැන්ත අරගලයට සහය දක්වන බවට සමඟි ජන බලවේගය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ගණනාවක් ප්‍රකාශ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරීමට හෙට (9) ආරම්භ වන සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළ කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

සාමකාමීඅරගලකරුවන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු පාර්ශවකරුවන් සමඟ එක්ව මෙම සටන ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය සියලුම දේශපාලන පක්ෂ වෘත්තිය සමිති බහුජන සංවිධාන මෙම සටනට සහයෝගය ලබාදෙන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද මෙම අරගලයට සහය දෙන බව එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොරව එම අරගලය පවත්වන්නේ නම් තම පක්‍ෂය එයට ආශීර්වාද කරන බවත්, මෙම විරෝධතා අතරතුරදී කිසිඳු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක නිරත නොවන ලෙස අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගාලු මුවදොර අරගලකරුවන් කැඳවා තිබෙන විරෝධතා දිනයට ජාතික ජන බලවේගය දේශපාලන ව්‍යපාරයක් ලෙස සහාය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ජාතික ජන බලවේගයෙ විධායක සභික ටිල්වින් සිල්වා මහතා ද පැවසීය

තෙල් හා ගෑස් පෝලිම්වල සැලකිය යුතු පිරිසක් මියගොස් රටම ගිනිගෙන තිබියදීත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැඟීම් දැනීම් නැති හිරිවැටුණු නායකයින් සේ ගිණිකෙළි සංදර්ශන බලමින් විනෝද වන බව කී ටිල්වින් සිල්වා මහතා ජනතාවගේ ප්‍රශ්නවලට පාලකයින්ට උත්තර නැති බව පෙනී යන බවද කීය.

43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ මෙම අරගලයේ දී කිසිවකුත් ප්‍රචණ්ඩකාරී නොවිය යුතු බවයි.

රාජපක්‍ෂවරුන්ගේ ආණ්ඩුවේ ඉලක්කය ලේ වැගිරීමක් හරහා බලය තහවුරු කරගැනීම බැවින් මෙම අරගලයේදී අවිහිංසාවාදීව හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලෙස සියලු අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත්, ප්‍රකෝපකාරී වැඩ කරන අය අරගලයේ සතුරන් බවත් රණවක මහතා කීවේය.

තමන්ගේ රාජකාරිය නීත්‍යානුකූල වපසරිය තුළ කරන ලෙස ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා මිනිස්සුන්ගේ බඩට පයින් අනින්න, තුවක්කු බලය පෙන්වන්න මේ රටේ ඉඩක නැති බවත් , පීඩාවට පත් පවුල් අතර ඔවුන්ගේ පවුලුත් සිටින බවත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත්වී සර්වපාක්‍ෂික අන්තර්කාලීන රජයක් පිහිටුවන ලෙස බලකරමින් ගෙනයන ජනතා අරගලයට හා ඒ වෙනුවෙන්පැවැත්වෙන විරෝධතාවයට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සහය ලබාදෙන බවයි.

Leave a Reply

Your email address will not be published.