ජනකගේ ප්‍රකාශය ගැන කෝප් විමර්ශනයක්

පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක්  ජනතාවට රුපියල් 250කට ලබාදිය හැකි බවට  මහජන  උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කර ඇති ආන්දෝලනාත්මක  ප්‍රකාශය සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශව  කැඳවා  පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.

මේ අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු  එම අමාත්‍යාංශයේ ප්‍රධානීන්  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීන්
ලබන 12 වැනිදා  කෝප්  කමිටුව හමුවට කැදවෙන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.

ජනක රත්නායක මහතා කර ඇති එම ප්‍රකාශය  දැඩි   ආන්දෝලනාත්මක  එකක් වන  හෙයින් ජනතාවගේ පැත්තෙන් බලා  එහි ඇත්ත නැත්ත සෙවීම සඳහා   තවදුරටත් විමර්ශන පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බව කෝප් කමිටුවේ සාමාජිකයන්  සියලු දෙනාගේ  අදහසවී  ඇතැයිද  මහාචාර්යවරයා  සඳහන් කළේය.

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්  මහජන උපයෝගීතා  කොමිෂන් සභාවේ සභාපතිවරයා කර ඇති එම ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා  ජනතාවට සත්‍ය අනාවරණය කරන ලෙස  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කළේය.

තමා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කැඳවා මේ ගැන විමර්ශනයක් පවත්වන ලෙසද අමාත්‍යවරයා  එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යසාධනය විමසීම සඳහා එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඇතුළු එහි ප්‍රධානීහු  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට  පසුගිය 6 වැනිදා කැඳවනු ලැබ සිටියහ. සභාපතිවරයා එම  ආන්දෝලනාත්මක ප්‍රකාශය කර ඇත්තේ ඒ  රැස්වීමේදීය.

Leave a Reply

Your email address will not be published.