රටම කොළඹට ගේන්න දුම්රිය එන්ජින් පණ ගැන්වූ ජන සවිය

අද (09) දිනයේ ”රටම කොළඹට – රොඳ බඳිමු – පන්නමු” තේමා පාඨය යටතේ දිවයින පුරා සියලුම ජනයා වීදි බැසීමට මේ වනවිට පටන්ගෙන තිබෙනවා.

ඊට අරගලකරුවන් සිය සටන සවිමත් කරගැනීමට කොළඹට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් ලෙස දුම්රිය ස්ථානවලින් දුම්රිය නිලධාරින් හරහා දුම් රිය ධාවනය කරගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මේ වනවිට ගාල්ල, මාතර, මහනුවර, අවිස්සාවේල්ල ආදී දුම්රිය ස්ථානවල දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ගාල්ල දුම්රිය ස්ථානයේ සිට ‘සමුද්‍රදේවී’ දුම්රිය මේ වනවිට අරගලයට මහජනයා රැගෙන ගමනාන්තයට පිටත්ව තිබෙනවා.මාතර සිට රුහුණු කුමාරි දුම්රිය ධාවනයට දුම්රිය නිලධාරින් කටයුතු කළ අතර, එය උදෑසන 8.30ට පමණ කොළඹට පැමිණීමට පිටත් වුණා.

එමෙන්ම අනුරාධපුර, පොළොන්නරුව සිට ද දුම්රියක් කොළඹට ධාවනය කරවන ලෙසට මේ වනවිට එම දුම් රිය ස්ථානවල රැඳී සිටින ජනයා දුම්රිය නිලධාරින්ට බලපෑම් කිරීම ද දක්නට ලැබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ.

කෙසේවෙතත් අද දිනයේ රට තුළ පවතින අරගලකාරී තත්ත්වය හමුවේ සාමාන්‍ය පොදු ප්‍රවාහනය මුළුමනින්ම බිඳ වැටී ඇති බවට ද ජනතාව චෝදනා කරනවා.

මේ අතර, සාමකාමී මහජන විරෝධතාව වැළැක්වීම සඳහා දුම් රිය හා බස් රථ ගමනාගමනය අත් හිටුවීම, ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව නවතා දැමීම හා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මහජනතාවගේ සාමකාමී රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා පැමිණවීම දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එහි විධායක කමිටු සභාපති පදුල ශ්‍රී රෝහණ ද සිල්වා ප්‍රකාශ කළේ, පොලිස්පතිවරයා ගත් මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (09) දිනයේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබීමට නියමිත යූරියා පොහොර මලුගත කිරීමේ ක්‍රියාවලියේ සිට ගොවීන් වෙත බෙදාහැරීම දක්වා බාධා පමුණුවන බවයි.

Leave a Reply

Your email address will not be published.