ඉන්දීය යූරියා පළමු තොගය අද කොළඹට

ඉන්දීය රජයයේ ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් මෙට්‍රික් ටොන් 40,000ක පළමු තොගය රැගත් MV- ELEEN ARMONIA නෞකාව අද (09) පෙරවරු 11ට කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මේ යූරියා පොහොර තොගය ගොඩබෑමෙන් පසු අද (09) පස්වරුවේ සිටම බෙදා හැරීමේ කටයුතු ආරම්භ කෙරෙන අතර දින 10ක් තුළ ලොරි රථ 800ක් යොදා ගනිමින් ලොරි තොග 2,000ක් හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් මඟින් පොහොර බෙදා දීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කියයි.ඉන්දීය රජය විසින් දෙන යූරියා පොහොර සම්බන්ධව අන්තර්ජාතික රසායනාගාර 3ක් විසින් ප්‍රමිති සහතික මගින් එහි බයියුරේට් ප්‍රතිශතය 1%කට වඩා අඩු බවත්, එම පොහොරවල ප්‍රමිතිය උසස් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයට දන්වා ඇතැයි ද අමරවීර මහතා අවධාරණය කරයි. කෙසේ වුව ද කොළඹ වරායේදී පොහොර තොගය ගොඩබෑමට පෙර ශ්‍රී ලංකාව ද රසායනාගාර පරීක්ෂණයක් කිරීමට නියමිතය.

මේ පොහොර බෙදීම සම්බන්ධයෙන් ඊයේ (08) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කරන ලදි.ඉන්දීය රජය විසින් දෙන යූරියා පොහොර මිටියක් රුපියල් 10,000ක සහන මුදලකට ගොවීන්ට හිමි වන බවත් එම පොහොර හෙක්ටයාර් 1කට කිලෝග්‍රෑම් 100ක් වන සේ දීමට ද පියවර ගන්නා බවත් පැවසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ මේ වන විට යූරියා පෙහොර මිටියක් රුපියල් 42,000ක් වැනි ඉහළ මුදලකට වෙළෙඳපොළේ අලෙවි වන බවයි.

යල කන්නයේ වගා කළ ගොවීන් සඳහා හිමි වන මේ යූරියා පොහොර තොගයේ මුල් තොගය වන මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 30,000ක් වී වගාව සඳහාත් ‍මෙට්‍රික් ටොන් 10,000ක් බඩඉරිඟු වගාව සඳහාත් දීමට නියමිතය. මෙට්‍රික් ටොන් 25,000ක ඉතිරි යූරියා පොහොර තොගය ඉතා කඩිනමින් මෙරටට හිමි වන බව ද ඒ මහතා අවධාරණය කළේය. මෙයින් යූරියා පොහොර මෙ.ටො. 5000ක් තේ වගාව සඳහා දීමට අදහස් කර ඇති බව ද ඇමැතිවරයා කීය. ‘‘යූරියා පොහොර තොගය සහිත නැව ඕමාන් වරායේ සිට අපේ රටට පැමිණීමට කිසියම් ප්‍රමාදයක් වූ නිසා සමාජ මාධ්‍ය තුළත්, ඇතැම් දේශපාලන පක්ෂත් මේ නැවට බාලගිරි දෝෂය යැයි චෝදනා කළා. මේ පොහොර තොගය සහිත නැව කොළඹ වරායට ළඟා වීමට නියමිතව තිබුණේ 9 දා රාත්‍රියේයි. නමුත් ඊට පෙර 9 දා පෙරවරු 11.00ට මේ නැව කොළඹ වරායට ළඟා වෙනවා.

Leave a Reply

Your email address will not be published.