අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බවට මා කළ ප්‍රකාශය විකෘති කර ප්‍රචාරය වූ නිසා මගේ නිවෙසට ගිනි තිබ්බා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීම වෙනුවෙන් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට සුදානම් බවට තමා කළ ප්‍රකාශය විකෘති කරමින් සිරස මාධ්‍ය ජාලය ගෙන ගිය ප්‍රචාරය නතර කරන්නැයි එහි ප්‍රධානියාට තුන් වරක් කතා කර ඉල්ලා සිටියත් එයට ඇහුම් කන් නොදුන් බවත්, ඉන් පසුව තම නිවෙස අසලට පැමිණි කණ්ඩායම් නිවෙසට ගිනි තැබූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ මාධ්‍ය වෙත ඊයේ (11) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“පසුගිය 9 වැනිදා පැවති දේශපාලන පක්ෂ නායක රැස්වීමේදී මා අගමැති ධුරයෙන් ඉවත් නොවන බව රවුෆ් හකීම් මහතා නිකුත් කළ ටිවිටර් පණිවිඩය මාධ්‍යයෙන් ප්‍රචාරය වුණා. මම එම රැස්වීමේදී සඳහන් කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කළ පසු අගමැති ධුරයෙන් ඉවත් වන බවයි.

මා අගමැති ධුරය භාර ගත්තේ රටේ ආර්ථිකය කඩා වැටුණු නිසයි. ආර්ථිකය ගෙන යෑමට බැරිව තිබූ අවස්ථාවකයි. ජනතාව දුක් වින්දා. බොහෝ දෙනෙක්ගේ රැකියා නැති වී තිබුණා. ජීවන වියදම වැඩි වුණා. ඉන්ධන නැතිව හිටියා. විදේශ විනිමය නැති වුණා. මෙහෙම දුකක් මීට පෙර මා දැක තිබුණේ නෑ. මා අගමැති ධුරය භාර ගත්තේ ඒ් නිසයි. ඒ් සමඟම මා අපේ ආර්ථිකය හදන්න ක්‍රියා කළා. එය දවසින් දෙකෙන් කරන්න බෑ. මූලික පියවර සඳහා අඩු තරමින් අවුරුද්දක්වත් යනවා. වසර හතරක් අවශ්‍ය බව අයි.එම්.එෆ්. සංවිධානය පවසා තිබෙනවා. අමාරුම කාලය පළමු වසරයි. ඉන්ධන පෝලිම් වැඩි වුණා. අපට විශාල ප්‍රශ්න තිබෙනවා. මේ මාස කිහිපයේ ඒ්වා වැඩි වෙනවා. අප ඒ්වාට මුහුණ දිය යුතුයි. ජනතාව විඳින දුක මා දන්නවා. මා එයට සමාව ඉල්ලා තිබෙනවා. අප ඉදිරියට යා යුත්තේ එකමුතු වෙලයි.

පසුගිය 9 වැනි සෙනසුරාදා අරගලය පැවති අවස්ථාවේ දී තිබු රැස්වීම් කල් දමා මා දහවල් නිවෙසේ රැඳී සිටියා. හැන්දෑව වන විට අරගලයට සහභාගි වී යන අය මගේ නිවෙස ද පහු කරගෙන යන නිසා ඔවුන් කෑ ගැසීමට ඉඩ ඇති බැවින් නිවෙසින් පිටව යන ලෙස පොලීසිය මගෙන් ඉල්ලා සිටියා. ඒ නිසා මාත්, මගේ භාර්යාවත් නිවෙසින් පිටවී ගියා. මා නිවෙසින් පිට වී සිටින අවස්ථාවේදී මගේ නිවෙස ගිනි තිබ්බා. මේ රටේත්, විදේශයේත් මට ඇති එකම නිවෙස අද ගිනිබත් කර තිබෙනවා. මගේ ලොකුම ධනය සහ වස්තුව වුණේ මගේ පුස්තකාලය. එහි පොත් 2500ක් තිබුණා. ක්වේරස් පියතුමා පෘතුගීසි කාලයේ දී ලියූ පොතත් එහි තිබුණා. බෝල්ඩියස් මහතා අවුරුදු තුන් හාර සියයකට කලින් ඕලන්ද යුගය ගැන ලියූ පොත තිබුණා. කිසින්ගර් වැනි අය අත්සන් කර දුන් පොත් තිබුණා. මේ පොත් සේරම මට හැමදාම තියා ගන්න බෑ. මාත්, බිරිය මෛත්‍රීත් මේ පොත් පුස්තකාලවලට දෙන්න කතා කරගෙන සිටියා. සමහරක් කොළඹ රාජකීය විදුහලටත්, පැරණි පෘතුගීසි සහ ඕලන්ද පොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් , සමහර පොත් ජාත්‍යන්තර කටයුතු ආයතනයකටත් දෙන්න අප වෙන් කර තිබුණා.

මා ළඟ වසර දෙසීයක් පමණ පැරණි චිත්‍ර තිබුණා. බ්‍රිතාන්‍යයන් මෙරටට පැමිණි ගමන් ඇඳපු චිත්‍ර එහි තිබුණා. අද මට ඉතිරිව තිබෙන්නේ එක් ඕලන්ද චිත්‍රයක් පමණයි. විමලධර්මසූරිය රජතුමා ඕලන්ද තනාපතිවරුන් හමු වන චිත්‍රය පමණයි. අනෙක් හැම දෙයක්ම විනාශ වී තිබෙනවා. කිසිවක් ඉතිරිව නෑ. මා ළඟ ත්‍රිපිටකය තිබුණා. බුදු දහම ගැන පොත් තිබුණා. ඒ් එකක්වත් අද ඉතිරිව නෑ. මා ළඟ වටිනා බුද්ධ රූප විස්සක් පමණ තිබුණා. මා පසුව ඒ්වා තෑගි දෙන්න හිතාගෙන හිටියා. ඉන් ඉතිරිව ඇත්තේ ඉන් එකක් පමණයි. පස්වග මහණුන් සහ ස්වාමීන් වහන්සේලාගේ චිත්‍ර තිබුණා. වර්තමාන කලාකරුවන් ඇඳපු චිත්‍ර ද තිබුණා. මේ සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙසේ නිවෙස විනාශ කරන්නේ හිට්ලර්වාදී අය පමණයි. මෙයට පසුබිමක් තිබෙනවා. එදා හවස හතරට පක්ෂ නායකයන්ගේ රැස්වීමක් තිබුණා. මා සූම් තාක්ෂණයෙන් එයට සහභාගි වුණා. එහිදී අනාගත වැඩ පිළිවෙළවල් කිහිපයක් යෝජනා වුණා. ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවත්, ඉන් පසුව ගත යුතු පියවර ගැනත් කතා වුණා. ජනාධිපතිවරයා ඉවත් වීම ගැන හැම දෙනාගේම එකඟත්වයක් තිබුණා. අලුත් ක්‍රමවේදයක් සහ අලුත් ආණ්ඩුවක් ඇති කළ යුතු බවටත් යෝජනා කළා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වී කථානායකවරයා වැඩ බැලීමට පත් කර ඉන්පසු ආණ්ඩුවක් ඇති කළ යුතු බව විපක්ෂය යෝජනා කළා. පසුව දැනුම් දෙන්නම් යැයි ආණ්ඩුවේ පක්ෂය නිශ්ශබ්දව සිටියා. එය කල් යන වැඩක් නිසා මා අකැමැත්ත ප්‍රකාශ කළා. විපක්ෂයෙන් යෝජනා කළ පරිදි ජනාධිපතිවරයා ඉල්ලා අස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීමට ඉල්ලා අස් වීමට මා ලෑස්ති බව ප්‍රකාශ කළා. කවුරු ජනාධිපති විය යුතුද යන්න සර්ව පාක්ෂික ආණ්ඩුවට තීරණය කළ හැකි බව මා වැඩිදුරටත් සඳහන් කළා. මේ ගැන වාද ඇති වුණා. මගේ ස්ථාවරය ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවත්, ඉදිරි සති දෙකේ අයි.එම්.එෆ්. සමඟ කිරීමට විශාල වැඩ කොටසක් ඇති බවත් මා සඳහන් කළා. ආණ්ඩු හද හද සිට ඉන්ධන, ආහාර ගැනීමේ වැඩපිළිවෙළ කැඩුණොත් නැවත එම අවස්ථාව කල් යන බවත් මා කිව්වා. මේ සාකච්ඡාව අවසන් වීමටත් පෙර මා විරුද්ධ වූ බවට රවුෆ් හකීම් ඇමැතිවරයා ටිවිටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මා තනතුරින් ඉවත් වීමට අකමැති ඇයි යැයි සුමන්තිරන් මහතා මගෙන් විමසුවා. ආණ්ඩුවක් ඇති කර ඉවත් විය යුතු බව මා කිව්වා. ඒ් ගැන එළියට පිට නොකළ බව සුමන්තිරන් මහතා මට පසුව පැවසුවා. හකීම් මහතාගේ ටිවිටර් පණිවිඩය සිරසට ගියා. සිරස සහ අනෙක් මාධ්‍ය ආයතන මේ ගැන ප්‍රසිද්ධියක් දුන්නා. සර්ව පාක්ෂික ආණ්ඩුවකට බලය දෙන්න මා සුදානම් බව මා ප්‍රකාශයක් නිකුත් කළා. මාධ්‍යවලින් එය ප්‍රචාර කළා. සිරස මාගේ ප්‍රකාශය විකෘති කර දිගින් දිගටම පළ කළා. මා සිරස ප්‍රධානියාට තුන් වතාවක් කතා කර මේ වැඩේ නොකරන ලෙස කිව්වා. අපේ ගෙවල්වලට ගිනි තියන්න පුළුවන් කියා කිව්වා. ඒ්ත් ඇහුම්කන් දුන්නේ නෑ. දිගටම කරගෙන ගියා. එක් කණ්ඩායමක් මගේ නිවෙස ළඟට පැමිණියා. පොලීසිය කඳුළු ගෑස් ගැහැව්වා. පොලීසිය කඳුළු ගෑස් ගහන අවස්ථාවේ දී සිරස මාධ්‍යවේදියෙක් වැටුණා. පහර දුන් බවට ඔවුන් චෝදනා කළා. කෙසේ වෙතත් මා ඒ් ගැන කනගාටුව ප්‍රකාශ කළා. එම පොලිස් නිලධාරියාට විරුද්ධව පොලීසියට දැනුම් දී පරීක්ෂණයක් ඉල්ලන්න තිබුණා. ඒ් වෙනුවට මගේ නිවෙස ළඟට එන ලෙස කියන්න ගත්තා. මගේ නිවෙසට එන පාරවලුත් පෙන්නුවා. පොලීසියට නවත්තන්න බෑ නීති උපදෙස් ලබා ගත් බවත් ප්‍රකාශ කළා. මේ කණ්ඩායම පැමිණි විට පොලීසියට බැටන් ප්‍රහාර එල්ල කළා, කඳුළු ගෑස් ගැහැව්වා. අන්තිමට තිබුණේ වෙඩි තියන්න. අපි වෙඩි තිබ්බේ නෑ. ඒ අය නිවෙසට ගිනි තිබ්බා.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය යන සියල්ලේම ලිපි ලේඛන නැති කර තිබෙනවා. ආණ්ඩුවක් වැඩ කළ යුත්තේ නීතිය අනුවයි. අප ව්‍යවස්ථාවට පිටින් වැඩ කිරීමට බෑ. පිටින් ඉඳගෙන වැඩ කරන්න යැයි පාර්ලිමේන්තුවට බල කරන්න බෑ. මා ඉන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටයි. එසේ කර ව්‍යවස්ථාවෙන් ජනතාවගේ මතයට කන් දීමටයි. අපට අද අවශ්‍ය සර්ව පාක්ෂික ආණ්ඩුවක්. එය ඇති කිරීමට ක්‍රියා කළ යුතුයි.” යනුවෙන්ද අගමැතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.