ආර්ථික අර්බුදය මැදින් ඉම්රාන් යළි බලයට එයිද?

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් එරට මීළඟ මහමැතිවරණයේදී 3/2ක බලයක් සහිතව නැවත රාජ්‍ය බලය අත් කර ගනු ඇතැයි සීඅයිඒ සංවිධානය අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ට වාර්තාවක් මගින් කරුණු පෙන්වා ඇතැයි ප්‍රකට දේශපාලන හා ආරක්ෂක විශ්ලේෂකයකු වන ඩේවිඩ් ජැක්මන් ට්විටර් වෙබ් අඩවියේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්ව අගමැතිධුරය අහිමි කරගත් පළමු රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක් වූ එරට හිටපු ක්‍රිකට් නායකයා මේ වන විට සිය පරාජයේ වේදනාව මකා දැමීමට නැවත උත්සාහයක නිරතව සිටී.

පාකිස්තාන පාර්ලිමේන්තුවේ ජනප්‍රියත්වය සහ විශ්වසනීයත්වය බින්දුවටම ඇද වැටුණද එරට දේශපාලන පොර පිටියේ දූෂණ වංචා චෝදනා අඩුම ප්‍රමාණයක් ඇත්තේ ඉම්රාන්ට බැවින් ඔහුගේ ජනප්‍රියත්වය එරට බහුතර ජනතාව අතර තවමත් ඉතිරිව ඇතැයිද කියැවේ.

බලයෙන් නෙරපා හැරීමෙන් පසු ඉම්රාන්ට පක්ෂය අතිවිශාල ජනතාවක් වීදි බැස උද්ඝෝෂණය කිරීම ඊට නිදසුන බව පාකිස්තානයේ දේශපාලන විශ්ලේෂකයෝ කියති.

තනතුර අහිමි වීමෙන් පසු ඉම්රාන් විවේක නොගත් අතර, සිය කීර්තිනාමයට එල්ල වූ කළු පැල්ලම මකා දැමීමට පසුදින ආරම්භ කළ මෙහෙයුම තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහුගේ සමීපතමයෝ පවසති. අගමැතිධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ඉම්රාන්ගේ ජනතා ප්‍රසාදය වර්ධනය වී ඇතැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කළද, එය පිළිගැනීම තරමක් අසීරු වන්නේ බලයේ සිටියදී ඉම්රාන් ඛාන් විසින් ගනු ලැබූ විවිධ තීන්දු තීරණ හේතුවෙන් පාකිස්තානයේ ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්වීම හේතුවෙනි. යුක්රේන යුද්ධය ආරම්භ වූයේ ඔහුගේ පාලන සමය බිඳ වැටීමට මාස දෙකකට ආසන්න කාලයකදී වූවත් පාකිස්තානයේ ආර්ථිකය බිඳ වැටීම ඊට කලෙකට පෙර සිටම සිදු වෙමින් පැවැති බව විපක්ෂයේ චෝදනාව විය. ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ ද එරට ආර්ථකය බිඳ වැටීමට ඔහු වගකිව යුතු බවට එල්ල වූ චෝදනාව මතය.

කෙසේ වෙතත් ඉම්රාන්ට තනතුර අහිමි වූයේ පාකිස්තානයේ කිසිදු අගමැතිවරයකුට නිල කාල පරිච්ඡේදය සම්පූර්ණ කිරීමට නොහැකි වීමේ ඉතිහාසය යළි අලුත් කරමිනි. පාකිස්තානයේ ඊට පෙර සිටි අගමැතිවරුන් මෙන්ම ඉම්රාන් ද එරට ආර්ථිකය ගොඩ නැගීමට අසමත්වීම පිළි නොගත් අතර, ජනතාව දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට එරෙහිව රජයට අප්‍රසාදය පළ කරද්දී ඉම්රාන්ගේ රජයට කිසිදු කඩිනම් විසඳුමක් ලබා දීමට නොහැකි වී තිබිණි.

රටේ ආර්ථිකය බිඳ වැටීම තනතුර අහිමි වීමට බලපෑ ප්‍රධාන සාධකය වූවද ඉම්රාන් තමාට එල්ල වූ විශ්වාසභංග යෝජනාව හඳුන්වනු ලැබුවේ අමෙරිකාවේ කුමන්ත්‍රණයක් ලෙසිනි.

ඔහු ප්‍රසිද්ධියේම අමෙරිකාව විවේචනය කළ අතර, විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට දිනකට පෙර ජනතාව අමතමින් කුමන්ත්‍රණය තහවුරු කිරීමට ලිපියක් ද පෙන්වා තිබිණි.

ඉම්රාන් ඛාන් තුනෙන් දෙකක බලයක් සහිතව නැවත පාකිස්තානයේ අගමැතිධුරයට පත්වනු ඇතැයි සීඅයිඒ සංවිධානය වාර්තා කර ඇත්තේ මෙවැනි පසුබිමකදීය. එහි නිර්වද්‍යභාවය පිළිබඳ සැකයක් මතු නොවන්නේ එම තොරතුරු අනාවරණය කර ඇත්තේ ලෝක ආර්ථිකය සම්බන්ධව ප්‍රකට විශ්ලේෂකයකු වන බැවිනි.

අනිත් අතට ඉම්රාන් ඛාන් අගමැතිධුරයෙන් නෙරපා දමා බලය අත්පත් කර ගත් ශෙබාස් ෂරීෆ් පිළිබඳ වැඩි ජනතා ප්‍රසාදයක් නැති බැවින් සීඅයිඒ වාර්තාව බැහැර කළ නොහැකි කාරණාවක් බවට පත් වී තිබේ. පාකිස්තාන දේශපාලන දාම් ලෑල්ලේ අමෙරිකාව ඉත්තන් අදිමින් සිටින බවට එරට ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත්තේ ශෙබාස් ෂරීෆ්ගේ රජයට වැඩි ආයුෂ නැති බවක් සීඅයිඒ වාර්තාවෙන් පෙන්නුම් කරන බැවිනි. විශ්වාසභංග යෝජනාව අමෙරිකාවේ කුමන්ත්‍රණයක් බවට චෝදනා කළ ඉම්රාන් නැවත බලයට පත් කිරීමට අමෙරිකාව කටයුතු කරමින් සිටින බවට ද අදහස් පළ වී ඇත. ඉම්රාන් මීළඟ මැතිවරණයේදි 3/2ක බලයක් අත්කර ගනු ඇතැයි කියන සීඅයිඒ වාර්තාව පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ විශ්වාසභංග යෝජනාව අමෙරිකාවේ කුමන්ත්‍රණයක් බවට එල්ල කළ චෝදනාව පිළිබඳ ඉම්රාන්ගේ නායකත්වයෙන් යුතු ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය ප්‍රසිද්ධියේ කනගාටුව ප්‍රකාශ කිරීමේ උණුසුමත් සමගය. මේ පිළිබඳ ප්‍රකාශ කරනු ලැබුවේ පාකිස්තාන ආරක්ෂක ඇමැති කවාජා අසීෆ් විසිනි. ඔහුට අනුව ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තම කනගාටුව ප්‍රකාශ කර ඇත්තේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූටය.

ඉම්රාන් ඛාන්ට නැවත පාකිස්තානයේ බලය අත්පත් කරගැනීමට අමෙරිකාවේ සහාය ලැබීම මින් පැහැදිලි වන බව එරට දේශපාලන විශ්ලේෂකයෝ කියති. ඉම්රාන්ගේ රජය බිඳ දමා පාකිස්තානයේ බලය අත්පත් කරගත් ශෙබාස් ෂරීෆ්ට ද එරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට මෙතෙක් නොහැකි වීම ද ඊට හේතුවක් වන්නට ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඉම්රාන් නැවත බලයට පත්වීම සම්බන්ධව එවැනි උණුසුමක් පාකිස්තානයේ පැතිර ගියද එරට මිලියන ගණනාවක ජනතාව පීඩාවට පත් කළ උද්ධමනයට එය විසඳුමක් නොවන බව එරට විද්වතුන්ගේ අදහස වී තිබේ.

Leave a Reply

Your email address will not be published.