චීනයේ බැංකු තැන්පත්කරුවෝ මුදල් ඉල්ලා උද්ඝෝෂණයක

චීනයේ දැඩි මුදල් අර්බුදයකට මුහුණ දී ඇති බැංකුවල ඇති තම ඉතිරි කිරිමේ ගිණුම්වල මුදල් ආපසු ඉල්ලා සිය ගණනක බැංකු ගනුදෙනුකරුවන් සිදුකළ සාමකාමී විරෝධතාවක් ප්‍රචණ්ඩ ලෙස විසුරුවා හැරීමට එරට පොලිසිය කටයුතු කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

පසුගිය අප්‍රේල් මාසයේ සිට චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ ග්‍රාමීය බැංකු හතරක් ඩොලර් මිලියන ගණනක් වටිනා තැන්පතු රඳවා ගෙන ඇතැයිද, එමගින් දහස් ගණනක ගනුදෙනුකරුවන්ගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ද වාර්තා වේ. එම බැංකු රැසක ඉතුරුම් තැන්පතු ඇති ගනුදෙනුකරුවන්ට අප්‍රේල් මාසයේ සිට සිය මුදල් ඉවත් කරගැනීමට අවස්ථාවක් ලැබී නැති අතර, ගිණුමෙහි ඉතුරු මුදල් ප්‍රමාණය පරීක්ෂා කිරීම පවා අවහිර කර තිබේ.

සිය මුදල් තැන්පතු නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් තැන්පත්කරුවන් පසුගිය මාස දෙකක් පුරා හෙනාන් පළාත් අගනුවර වන ශෙංෂූ නගරයේ පෙළපාළි පවත්වා ඇතැයි ද සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. කොවිඩ් වසංගතය හමුවේ පසුගිය කාලය ඇතුළත චීනයේ නගර රැසක් අගුළුලෑම හේතුවෙන් එරට බහුතර ජනතාව විවිධ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටි අතර, මේ වන විට එම තත්ත්වය වඩාත් බරපතළ වී ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.