ඉරානයේ උද්ධමනය උපරිම මට්ටමේ

ඉරානයේ උද්ධමනය පෙර නොවූ විරූ අයුරින් ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළේය. එරට සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානයට අනුව පසුගිය ජූනි මාසයේදී 12.2%කින් ඉහළ ගිය මාසික උද්ධමනය මේ වන විට වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතී.

සාමාන්‍ය ඉරාන පවුලකට ජූනි මාසයේ දින 30 කාල සීමාව තුළ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට තිබූ හැකියාව 10%ක් අහිමි වී ඇති අතර, එරට පාරිභෝගිකයින් 2021 වසන්ත කාලයට සාපේක්ෂව එම නිෂ්පාදන සඳහා මේ වන විට 50%කට වඩා වැඩි මුදලක් වැය කරමින් සිටින බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ වනවිට එරට වාර්ෂික උද්ධමනයේ සාමාන්‍යය 39.4%ක් වන අතර, එය මේ වසර අවසන් වීමට පෙර හෝ 2023 අප්‍රේල් 1 වන විට 50% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් ඉරාන පවුල් දුෂ්කර මාස කිහිපයක් ගත කිරීම සඳහා සූදානම් වෙමින් සිටිති.

එරට සහල්, කිරි, පාන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳ යාවත්කාලීන කිරීම්වලින් සමාජ ජාල පිරී ගොස් ඇති අතර, ඉරානයේ ආර්ථිකය මෙතරම් ඉහළ උද්ධමනයක් වාර්තා වන්නේ අමෙරිකාව විසින් පනවනු ලැබූ සම්බාධක හේතුවෙන් බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කළද, තවත් පාර්ශ්වයක් සඳහන් කර ඇත්තේ ඉරාන රජය විසින් අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ දැමීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published.