ගෝලීය බල අරගලයේදී අමෙරිකාවේ මීළඟ අභියෝගය චීනයයි

යුක්රේන යුද අර්බුදය හේතුවෙන් ලෝක බලවතුන් අතර පැවැති බල අරගලයෙන් රුසියාව පසුබෑමකට ලක්වී ඇතැයි ද, අමෙරිකාව තවදුරටත් ගෝලීය බලවතා ලෙස ඉදිරියට පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ වුවද ගෝලීය ආර්ථිකයේ බලවතකු ලෙස හිස ඔසවමින් සිටින චීනය ලෝක බලවතුන්ගේ බල අරගලයේදී අමෙරිකාවේ මීළඟ අභියෝගය වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.

චීනය මේ වන විට තායිවානයට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටින බැවින් ගෝලීය බලවතකු ලෙස නැගී සිටීමේ චීන ඉලක්කය තායිවාන අර්බුදය තුළින් මැඬ පැවැත්වීම අමෙරිකාවේ අවධානය යොමු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අමෙරිකාව මේ පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ යුක්රේන යුද්ධයට සමගාමීව මීළඟට ආසියාවේ ද එවැනි යුද අර්බුදයක් පැන නගිනු ඇතැයි ද, එය චීනයේ තායිවාන ආක්‍රමණයකින් සිදුවනු ඇතැයි ද මාස කිහිපයක සිට පළ වන අනාවැකි සැලකිල්ලට ගනිමිනි.

රුසියානු ආක්‍රමණයෙන් පසු යුක්රේනය අමෙරිකාව ඇතුළු බටහිර රටවලට සමීපව කටයුතු කළ ආකාරයෙන් චීනයේ ආක්‍රමණයක් සිදු වුව හොත් තායිවානය ද එවැනි පියවරක් අනුගමනය කරනු ඇතැයි දැනටමත් දේශපාලන විශ්ලේෂකයන් අනුමාන කර තිබේ.

Leave a Reply

Your email address will not be published.