ශ්‍රී ලංකා – පාකිස්තාන ගාලු ටෙස්ට් ගැටුම අද ඇරඹේ

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සහ බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන පිල දඟ පන්දු යවන්නන් කෙරෙහි දැඩි විශ්වාසයකින් මේ තරගයට අවතීර්ණ වීම කැපී පෙනෙයි.

තම මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 12ක් දවා ගනිමින් වාර්තාගත දක්ෂතා ප්‍රදර්ශනය කළ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය හා පාකිස්තාන සංචිතයට වසරකට පසු එක් වූ පා දඟ පන්දු සමඟ ගුග්ලි පන්දු යවන යසීර් ෂා කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුව පවතී. ඉතිහාසය පුරා ගාලු තණතිල්ලේ වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ දඟ පන්දු යවන්නන් බැවින් මේ ක්‍රීඩකයන් කෙරෙහි කණ්ඩායම් නායකයෝ විශ්වාසය තැබීම පුදුමයට කරුණක් නොවේ.

ප්‍රභාත් ජයසූරිය ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගයේදී ප්‍රතිවාදීන්ට එල්ල කළ පීඩනය පාකිස්තාන පිතිකරුවන්ට ද එල්ල කිරීම ශ්‍රී ලංකා පිල බලාපොරොත්තු වන ප්‍රමුඛතම වාසිය වේ. යසීර් ෂා වසර 2015දී මෙරට සංචාරය කළ පාකිස්තාන කණ්ඩායම සමඟ පැමිණ ගාලු තණතිල්ලේ අණසක පැතිරවූ ඉතිහාසයක් ඇත. යසීර් ෂා අවසන් වරට ගාල්ලේ පැවති ටෙස්ට් තරගයේදී කඩුලු 9ක් බිඳ හෙළා පාකිස්තානයට කඩුලු 10ක ජයක් අත් කර දීමට ක්‍රියා කළේය. එදා තරගයට ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් අද තරගයට ද එක් වන හෙයින් ඔවුන්ට යසීර් ෂා පන්දු දඟ කවන ආකාරය පිළිබඳ අමුතු අවබෝධයක් අවශ්‍ය නොවනු ඇත.

එමෙන්ම ඔස්ට්‍රේලියාව පැරදවූ දෙවැනි ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කොට ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් ගොඩනැඟූ දිනේෂ් චන්දිමාල් හා සහභාගී වූ අවසන් ටෙස්ට් තරග දෙකේදී ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 354ක් රැස් කළ බාබර් අසාම් කෙරෙහි ක්‍රිකට් විචාරකයෝ සුභවාදී බලාපොරොත්තු පළ කරමින් සිටිති.

වසර 1982දී සිට මේ දක්වා ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ටෙස්ට් තරග 55ක් පවත්වා ඇති අතර, එයින් තරග 20ක ජය පාකිස්තානයට හිමිව තිබේ. ශ්‍රී ලංකාව තරග 16කින් ජය තහවුරු කර ඇති අතර, දෙරට අතර ටෙස්ට් තරග 19ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අවසන් වරට 2019දී ටෙස්ට් තරගාවලියක් පැවති අතර එයින් 1-0ක ජයක් පාකිස්තානයට හිමි විය. ලාහෝර් ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරය හේතුවෙන් වසර 10කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් යළිත් ආරම්භ කරමින් සංචාරය කළ ශ්‍රී ලංකාව රාවල්පින්ඩි නුවර පින්ඩි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමා කළ අතර, කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 263කින් පාකිස්තානය ජය අත් කර ගත්තේය.

මෙවර ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත්ව සිටින අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමා වූ ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ සිටි චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම හා ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයන් නම් කොට නැත. කොරෝනා හේතුවෙන් සංචිතයෙන් ඈත්ව සිටි පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ හා අසිත ප්‍රනාන්දු අද තරගයේ සංචිතයට එක්ව සිටිති. ධනංජය ද සිල්වාට කණ්ඩායමේ ස්ථානයක් හිමි වන හෙයින් ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී මංගල අර්ධ ශතකය වාර්තා කළ කමිඳු මෙන්ඩිස්ට ස්ථානය අහිමි වනු ඇත. ටෙස්ට් වරම් දිනාගත් මහීෂ් තීක්ෂණ හෝ ටෙස්ට් දොරටුව අභියස සිටින දුනිත් වෙල්ලාලගේ යන දෙදෙනාගෙන් එක් අයකුට අද තරගයේ අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිශ්ශංක, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, මහේෂ් තීක්ෂණ, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ප්‍රභාත් ජයසූරිය, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ.

පාකිස්තාන ටෙස්ට් සංචිතය – බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා සෆීක්, අසාර් අලී, ෆාහීම් අස්රාෆ්, ෆාවඩ් අලාම්, හැරිස් රවූෆ්, හසන් අලී, ඉමාම් උල් හක්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නවුමන් අලී, සල්මන් අලී අගා, සෆ්රාස් අහමඩ්, සාවුඩ් ශකීල්, ෂාහේන් අෆ්රිඩී, ෂාන් මෂූඩ්, යසීර් ෂා.

Leave a Reply

Your email address will not be published.