වල්අලි ප්‍රහාරවලින් ගොවියෝ තුනක් මරුට

පොලොන්නරුව දිඹුලාගල, මැදිරිගිරිය නවනගරයේදී සහ සාලියවැව නීලබැම්ම බලකොටුව ප්‍රදේශයේවලදී වල් අලි ප්‍රහාර තුනකින් ගොවියන් තිදෙනකු මියගොස් ඇතැයි  පොලිසිය කියයි.

මැදිරිගිරිය නවනගරයේ පදිංචි ඩී.බී.ටී.ජී. සරත්චන්ද්‍ර නමැති 65 හැවිරිදි  තිදරු පියකු ද දිඹුලාගල පැලැටියාවවේ පදිංචි 47 හැවිරිදි ඩී.එම්. සෙනෙවිරත්න බණ්ඩා නමැති 47 හැවිරිදි තිදරු පියකු ද සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ පදිංචි ආර්.පී.ඩී. පේමදාස  නමැති 76 හැවිරිදි ගොවියකු ද මෙසේ මියගොස් ඇත.

ඩී.එම්. සෙනෙවිරත්න බණ්ඩා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ සැමියකු බවද  පොලිසිය සඳහන් කරයි. ඔහු මහවැලි සී කලාපයේ වෙහෙරගල කොට්ඨාස කාර්යාලයේ ආයතන සංවර්ධන නිලධාරියකු ලෙස ද කටයුතු කරයි. කුඹුරට පැමිණෙන වල් අලින්ගෙන් වී වගාව ආරක්ෂාකර ගැනීම සඳහා පැල් රකිමින් සිටියදි ඊයේ 2.30ට මෙම වල්අලි ප්‍රහාරයට ලක්ව ඇත. අලි ප්‍රවාරයට ලක්ව සිටි ඔහු අසල්වාසීන් විසින් මනම්පිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට මාරු කර යවා ඇත. ඔහු පොලොන්නරුව රෝහලට රැගෙන යනවිට මියගොස් සිටි බව පොලිසිය කියයි.

මැදිරිගිරිය නවනගරයේ වල්අලි ප්‍රහාරයට ලක් වූ සරත්චන්ද්‍ර නමැති තිදරු පියා  හිතවතකු සමග දර්ශනපුර සිය වගා බිම් වල් අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට ගිය අවස්ථාවේ වගා වනසමින් සිටි වල් අලියකු ඔවුන් පසුපස පන්නා ඇත.

පසුව ඔවුන් අසල නිවෙසකට දිවගොස් ඇතත් මියගිය අය දිව යද්දී ඇද විටුණු අවස්ථාවේ වල්අලියා පහරදී මරා දමා ඇතැයි පොලිසිය පවසයි.

සාලියවැව පේමදාස නමැති ගොවි මහතා කිසියම් අවශ්‍යාවයකට නිවසෙන් බැහැරට පැමිණි අවස්ථාවේ වල්අලි ප්‍රහාරයට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published.