දෙල්ගොඩ සංවර්ධන නිලධාරිනී ඝාතකයා කලින්දා නිවසට පැන්න හොරාදැයි සැකයක්

දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේ නිවාස සංකිර්ණයක පිහිටි සුවිසල් නිවෙසක තනිවම පදිංචිව සිටි කාන්තාවක සාහසිකයකු විසින් ඇගේ නිවෙස ඇතුළේම ගෙළට පිහියකින් ඇණ ඝාතනය කිරීමේ සිද්ධිය ගැන පොලිසිය මේ වන විට දීර්ඝ විමර්ශනයක් සිදු කරගෙන යන්නේ එම ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහාය.

දෙල්ගොඩ කඳුබොඩ නිවාස සංකිර්ණයක සුවිසල් නිවෙසක ජීවත් වූ හතළිස් දෙහැවිරිදි ලංකා ගනේෂි පනාපිටිය මෙනවිය මෙසේ ඝාතනය කර ඇත්තේ ජුලි 12 වැනිදාය.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ලංකා ගනේෂි පනාපිටිය මෙනෙවිය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කළාය. ලංකා ගනේෂි මෙනෙවියගේ බාල සොයුරියද පදිංචිව සිටින්නේ ලංකාගේ නිවෙස ඉදිරිපිටය.

ජුලි 12 වැනිදා රාත්‍රියේ ‘ලංකා අක්කාගේ’ නිවසේ විදුලි පහන් දල්වා නොතිබීම සහ ඇගේ නිවසේ ඉහළ මාලයේ ජනේලයක් විවෘතකර තිබීම ගැන සැකයක් ඇති වූ නිසා ලංකාගේ නැඟනිය මේ ගැන සිය සැමියාට පවසා ඇති අතර සැමියා ලංකාගේ නිවෙස විවෘතකර තිබුණු ජනේලයෙන් නිවෙස තුළට ගොස් බලද්දි ලංකා නිවෙසෙහි ඇඳක් මත ඝාතනය කර තිබුණු අයුරු දැක ඒ ගැන පොලිසියට පැමිණිලිකර තිබිණි.

වහාම ක්‍රියාත්මක වූ මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත හේරත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඒ. විමලසේන අදාළ නිවෙසට ගොස් විමර්ශන ආරම්භ කළ අතර කැලණිය කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයේ (සොකො) පොලිස් පරික්ෂක එස්. ඒ. සම්පත් සේනාධීර ඇතුළු කණ්ඩායමක්ද ඝාතනයට ලක්වූ ලංකා ගනේෂි මෙනවියගේ නිවෙසට පැමිණ විමර්ශන ආරම්භ කරන ලදි.

එම ප්‍රදේශයේ ගැවසුණු පොල් කඩන පුද්ගලයකු ගැන පොලිසියේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද සැකයක් මුලින් එල්ලවී තිබිණි.

ඒ අතරතුර කැලණිය කොට්ඨාසයේ අපරාධ පරික්ෂණාගාරයේ (සොකෝ) පොලිස් පරික්ෂක එස්. ඒ. සම්පත් සේනාධීර ඇතුළු කණ්ඩායම ලංකා ගනේෂි මෙනෙවියගේ නිවෙසේ සහ ඇගේ ඝාතනය සිදු වී තිබුණු ස්ථානයේ සිදු කරන ලද පරික්ෂණවලින් සැක කටයුතු ඇඟිලි සලකුණු 22 ක් සොයා ගෙන තිබිණි.

ගනේෂි මෙනවියගේ නිවෙසේ නාන කාමරයක තිබුණු රෝම කූප දෙකක්ද සොයා ගැනීමට පොලිස් පරික්ෂක සම්පත් සේනාධීර ඇතුළු කණ්ඩායමට හැකිවිය.

ලංකා ගනේෂි මෙනවියගේ නිවෙසට 11 වැනිදා සොරෙකු ඇතුළු වී තිබුණු අතර ඒ අවස්ථාවේදි ගනේෂි මෙනවිය නිවසට පැමිණි බැවින් කලබල වූ සොරා පළා ගොස් තිබිණි.

ඊට පසුදින එනම් ජුලි 12 වැනිදා ද ගනේෂි මහත්මියගේ නිවෙසට ඇතුළු වී ඇත්තේ මේ සොරා ම බවට පොලිසිය සැක කරයි. විමර්ශන නිලධාරින් සැක කරන අන්දමට සොරා එදින නිවෙසට ඇතුළු වී ඇත්තේ එම නිවෙසේ කිසිවකු නොමැති බව සිතාගෙන වුවත් නිවසට ඇතුළු වු සොරා ලංකා ගනේෂි මෙනවිය නිවසේ නිදා සිටින අයුරු දැක කලබල වී මේ ඝාතනය සිදු කර ඇති බවට සැක කැරේ.

මේ පුද්ගලයා එදින දහවල් 12ට පමණ මහමඟ ගමන් කරන අයුරු සටහන් වූ සී.සී.ටී.වී. දර්ශන පොලිසිය විසින් මේ වන විට සොයා ගෙන ඇත. එම දර්ශනවල සිටින්නේ 11 වැනිදා ගනේෂිගේ නිවෙසට රිංගු පුද්ගලයාම බවට සැක කරන්නේ සී.සී.ටී.වී. දර්ශනවලට අනුව මේ එම පුද්ගලයා බව හෙළිවීම නිසාය.

12 වැනිදා උදෑසන 9.15 ට පමණ ලංකා ගනේෂිගේ සොයුරිය ලංකාට විටින් විට දුරකතන ඇමතුම් ලබා ගෙන ඇතත් ඇය ඊට ප්‍රතිචාර දක්වා නැත. දහවල් 11ට පමණ ගත් ඇමතුම විසන්ධි කර තිබිණි. ඉන් අනතුරුව දුරකතනය දිගටම විසන්ධි වී තිබිණි.

ලංකා ගනේෂි මෙනවිය බියගම මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇගේ ඝාතනය ගැන කම්පාවට පත් ඇගේ මිතුරු මිතුරියන් ලංකාගේ ෆේස්බුක් පිටුවේ සංවේදි සටහන් ගණනාවක් තබා තිබිණි.

“ආදරණීය ලංකා පුතේ ඔයා මගේ කඩුවෙල යෝග පන්තියේ ආදරණීය දරුවෙක් කොයිතරම් ලස්සන ජීවිතයක් ද ඔයාට තිබ්බේ. ඒත් හොරෙකුට පුළුවන්ද මේ විදියට ඔයාගේ ජීවිතය හොරා ගන්න. ඔයාට නිවන් සුව පුතේ”

එලෙස ඇයට නිවන් සුව පතා තිබුණේ ඇගේ ගුරු මාතාවකි.

සිදුකරන පොලිස් විමර්ශන අනුව ලංකා ගනේෂි ඝාතකයා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙක්ද අප කළ විමසීමකදී ඉකුත් බ්‍රහස්පතින්දා දින පැවැසීය.

කැලණිය කොට්ඨාස බාර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ගේ උපදෙස් මත මීගහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත හේරත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඒ. විමලසේන පොලිස් පරික්ෂක දිසානායක කැලණිය කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයේ (සොකො) පොලිස් පරික්ෂක එස්. ඒ. සම්පත් සේනාධීර පොලිස් පරික්ෂක ජයලත් (88303) ෂෙහාන් (88758) මනෝජ් (88787) රාජපක්ෂ (92325) ජයසිංහ (84475) පෙරේරා යන නිලධාරීන් මේ ඝාතනය ගැන වැඩිදුර විමර්ශන සිදු කරති.

Leave a Reply

Your email address will not be published.