මව්බිමට උපරිම ශක්තියෙන් සේවය කරන්න ඉදිරියටත් කැප වෙනවා – හිටපු ජනපති

මේ දක්වා මව්බිමට තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා උපරිම දායකත්වය දීමට ඇප කැප වී සිටින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද අබේවර්ධන මහතා වෙත යොමු කරමින් සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා යොමු කර තිබූ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාගේ අවසර මත පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පෙරේදා (16) සභාවට ඉදිරිපත් කළේය.

ජනාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කර මාස තුනක් ගතවීමට පෙර මුළු මහත් ලෝකයටම බලපෑ කෝවිඩ් මාරාන්තික වසංගත තත්ත්වයට මුහුණ දීමට අප රටට ද සිදුවූ අතර, ඒ වන විටත් ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය හමුවේ වූවද එකී වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට තමන් හට හැකිවීම සතුටට කරුණක් යැයිද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.

කතානායකවරයාට යොමු කර තිබූ ලිපියේ මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 7 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ප්‍රතිඥා දී 2019 නොවැම්බර් 18 වන දින මා එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදී.

එමෙන්ම කෝවිඩ් වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට 2020 සහ 2021 යන වසරවල වරින් වර රට වසා දැමීමට සිදුවීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට අප රජයට සිදු විය.

ඒ තුළින් ඇති වූ අස්ථාවරත්වයන්ට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරමින් සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මවිසින් හැකි සෑම උත්සාහයක්ම ගන්නා ළද අතර ඒ සඳහා ගත හැකිව තිබූ හොඳම පියවරයන් ගත් බව මගේ පෞද්ගලික විශ්වාස යයි.

පොදු ජනතාවගේ ඉල්ලීම 2022 ජුලි මස 9 වැනි දින ඔබතුමා මා වෙත දැනුම් දුන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38. 1 (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයෙන් 2022 ජුලි මස 14 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි.

ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරි පියවර ගන්නා ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published.