එංගලන්ත කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටින සුපිරි තම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බෙන් ස්ටොක් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ හෙට ඩර්හැම් ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගය බෙන් ස්ටොක් ගේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගය වනු ඇති බවයි.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 104 කට ක්‍රීඩා කර ඇති බෙන් ස්ටොක් එහිදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 2919 ක්.
ඒ අතරට ශතක තුනක් ද ඇතුළත්.
පන්දු යැවීමෙන් ද එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වා ඇති බෙන් මෙම තරග වලදී කඩුලු 74 ක් ලබාගෙන තිබෙනවා.
2011 දී එංගලන්ත ජාතික කණ්ඩායමට එකතු වූ බෙන් ස්ටොක් වඩාත් කථා බහට ලක්වූයේ 2019 වසරේ අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී දැක් වූ දස්කම් හේතුවෙන්.
නවසීලන්තය සමඟ පැවති එම අවසන් තරගයේදී ඔහු නොදැවී ලකුණු 84ක් ලබා ගන්නේ එංගලන්ත කණ්ඩායම තරගයේ සුපිරි ඕවරය දක්වා කැඳවාගෙන යමින්.
අවසන් තරගයේ ක්‍රියාත්මක වූ සුපිරි ඕවරයෙන් ජයග්‍රහණය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසය තුළ ඔවුන් දිනාගත් පළමු ලෝක කුසලානය ඉහලට ඔස වන්නට සමත් වුණා.
මෙම අවසන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ බෙන් ස්ටොක් නම් කෙරුණා.
තවමත් තිස් එක් හැවිරිදි වියේ පසුවන මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරන්නේ එක්දින ජාත්‍යන්තර තරග සඳහා දැන් තමන් නො ගැලපෙන බවයි.
එංගලන්ත ක්‍රිකට් ජර්සිය පැළඳිය යුත්තේ එම තරග රටාවට සියයට සියයක්ම ගැළපෙන ක්‍රීඩකයින් බවත් තමන් දැන් ඒ තත්ත්වයේ නොමැති බව තමන්ට හැඟෙන බවත් ඔහු සඳහන් කරනවා.
ඉදිරියේදී තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සම්පූර්ණ අවධානය යොමුකරන බවත්, පන්දුවාර විස්ස තරග සඳහා එක්වීමට තමන් තවමත් ශක්තිමත් බවත් ඔහුගේ සමුගැනීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published.