ශෆීක්ගේ සටන්කාමි ඉනිම ශ්‍රී ලංකා පිලට හිසරදයක් වෙයි

පාකිස්තාන පිල කඩුලු 7ක් අතැතිව ලකුණු 119ක් පසුපසින්

සටන්කාමී පිතිහරඹයක නිරත වූ පාකිස්තාන පිලේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් නොදැවී ලකුණු 112ක් රැස් කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණ බලාපොරොත්තුව ඈතට තල්ලු කිරීමට සමත් විය. ලකුණු 342ක දුෂ්කර ඉලක්කයක් හඹා යන පාකිස්තානය ඊයේ තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 222ක් රැස් කරමින් ප්‍රබල තත්ත්වයක පසු වූ අතර, තරගයේ අවසන් දිනය වන අද පිටියට පිවිසෙන්නේ තවත් ලකුණු 120ක ඉලක්කය සමගය. ඒ සඳහා පාකිස්තානයට තවත් කඩුලු 7ක් ඉතිරිව ඇත.

සිය ටෙස්ට් තරග දිවියේ දෙවැනි ශතකය ඊයේ වාර්තා කළ ශෆික් නොදැවී කඩුල්ලේ රැඳී සිටීම ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් බවට පත් වනු ඇත.

ඉතා පරිස්සමින් යුතුව පිත්ත හැසිරවූ මේ පිතිකරුවා ඉමාමුල් හක් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 87ක සම්බන්ධතාවක් ද, නායක බාබර් අසාම් සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 101ක සම්බන්ධතාවක් ද ගොඩ නගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත් විය. ඔහුට අනගි සහයක් දුන් බාබර් ලකුණු 55ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගිනි. ඊයේ තරගය නිමා වන විට ශෆීක් 289කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කර තිබිණි. ඔහු සමග නොදැවී කඩුල්ලේ රැඳී සිටින මොහොමඩ් රිස්වාන් නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 7කි.

පාකිස්තාන පිලේ පළමු ඉනිමේදී කඩුලු 5ක් බිඳ දැමූ ප්‍රභාත් ජයසූරිය ඊයේ දිනයේදීද සාර්ථකම පන්දු යවන්නා බවට පත් වෙමින් කඩුලු 2ක් දවාගත් අතර, රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් බිඳ දැමුවේය.

පෙරේදා දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 329ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ඊයේ දිනයේ නසීම් ෂා යවනු ලැබූ ඉනිමේ 4 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් දැවී ගියේ අනෙක් අන්තයේ සිටි දිනේෂ් චන්දිමාල්ට සිය ශතකය ලකුණු 6කින් අහිමි කරමිනි. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමට එකතු වූයේ ලකුණු 8ක් පමණි.

ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේදී ලකුණු 76ක් රැස් කළ චන්දිමාල් ඊයේ ඉනිම නිමාවට පත් වන විට නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 94කි. මිනිත්තු 225ක් කඩුල්ලේ රැඳී සිටි චන්දිමාල් පන්දු 139කට මුහුණ දුන් අතර, හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එල්ල කළේය. අද තරගයේ අවසන් දිනයයි

Leave a Reply

Your email address will not be published.