රනිල්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන නාගානන්දගේ පෙත්සම විසි වෙයි

එක්සත් ජාතික පක්ෂ නායක වෑඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19) තීරණය කළේය.

එම පෙත්සමට එරෙහිව නීතිපතිවරයා සහ එහි වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මේ පෙත්සම ඉවත දමන ලදී.

ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඒකමතිකව මේ තීරණය ප්‍රකාශ කරන ලදි.

රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම මඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පැමිණිලි කරමින් මේ පෙත්සම ගොනු කර තිබිණි.

පෙත්සම සම්බන්ධයෙන් මීට පෙර මූලික කරුණු සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පෙත්සමට එරෙහිව කරුණු දෙකක් යටතේ මූලික විරෝධතා ඉදිරිපත් කළාය.

මේ පෙත්සම කාලාවරෝධී බවට ඇය කරුණු දැක්වූවාය. එසේම පෙත්සම්කරුගේ ක්‍රියා කලාපය පිළිගත නොහැකි බවට ඇය සඳහන් කළාය.

එසේම පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අනුව වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පත් වූ බව ඇය පෙන්වා දුන්නාය.ඒ අනුව මේ පත් කිරීම මඟින් ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවට ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බව ඇය සඳහන් කළාය.

මේ මූලික විරෝධතා පිළිගෙන පෙත්සම ඉවත දමන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මෙහිදී වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මූලික විරෝධතා ඉදිරිපත් කරමින් සඳහන් කළේ පෙත්සම්කරු අධිකරණයට කරුණු සඟවා ඇති බවය.

එසේම මේ පෙත්සම කාලාවරෝධී බව ඔහු පෙන්වා දුන්න්නේය. තමන් අභියෝගයට ලක් කරන කරුණු හෝ සිදු වීමෙන් මසක කාලයකදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ යුතු බව ඒ මහතා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පත් වී මාසයකට අධික කාලයක් ගෙවී ඇති අතර එම පත් වීම ද අභියෝගයට ලක් කරමින් මේ පෙත්සම ගොනු කර ඇත්තේ නියමිත කාල රාමුව ඉක්මවා යෑමෙන් අනතුරුව බව ඒ මහතා සඳහන් කළේය.

එම කරුණු පිළිගත් අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් විභාගයක් නොතබාම ඉවත දැමීමට තීරණය කළේය.

එම පත් කිරීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි වන අතර එමගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පැමිණිලි කරමින් මේ පෙත්සම ගොනු කර ඇත.

මැතිවරණ කොමිසම එහි හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, එහි වත්මන් සභාපතිවරයා, සහ සාමාජිකයන්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, රනිල් වික්‍රමසිංහ, නීතිපතිවරයා ඇතුළු දොළොස් දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වූහ.

පෙත්සමෙහි මෙසේ ද සදහන් විය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ජාතික ලැයිස්තු නාම යෝජනා දේශපාලන පක්ෂ ලේකම්වරු විසින් ඉදිරිපත් කරන ලදි.

2020 අගෝස්තු මස 05 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අතර එහි ප්‍රතිපල අගෝස්තු මස 08 වැනිදා ප්‍රකාශ කළ අතර පක්ෂවලට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පත් කරන්න්ගේ නාම යෝජනා එම මස 14 වැනිදා ට පෙර දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පක්ෂ ලේකම් වරුන්ට දැනුම් දී තිබේ.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර නාම යෝජනා ලබා දී නැත.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2020 මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැද පරාජයට පත් විය.

කෙසේ වුවද ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පත් කෙරිණි.

මේ පත්වීම දෙකම සිදු කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය අනුව මැතිවරණ කොමිසමට ලැබී ඇති බලතල ප්‍රකාරවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයෙන් හදුන්වා දුන් 99 (ආ) වගන්තිය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට යම් පුද්ගලයකු පත් කිරීමේදී අදාළ පක්ෂයේ මහලේකම්වරයා විසින් සතියක් ඇතුළත පත් කරනු ලබන තැනැත්තා ගේ නම මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතු වේ.

නමුත් මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා නම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ අදාළ දින 7 ක කාලය ඉකුත් වීමෙන් අනතුරුවය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය උල්ලංඝනය කර ඇත.

තේරීම් කාරක සභා මඟින් අනුමත කරන ලද 14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ලැයිස්තුවේ නම නොමැති අයකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කළ නොහැක.

මේ සමස්ත ක්‍රියාවලිය තුළින් රටේ ජනතාවගේ ස්වෛරීත්වය සහ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස කටයුතු කිරීම, ඡන්දය භාවිත කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා තිබිණි.

පෙත්සම වෙනුවෙන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published.