පාඨලීට එරෙහි නඩුවේ සාක්ෂි මෙහෙයවන්නේ නැහැ

අපරික්ෂාකාරී ලෙස රිය පදවා රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේ තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා හතරක් යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ ඉදිරි සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (19) ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා මේ පොරොන්දුව දුන්නේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසින්හ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ මේ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් මහාධිකරණයේ නඩුවේ සාක්ෂි මෙහෙයවීම සිදු නොකිරීමට එකඟ වන බවය.

එම පොරොන්දුව ලබා දීමෙන් අනතුරුව මේ පෙත්සම සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (19) තීරණය කළේය.

පෙත්සම්කාර චම්පික රණවක මහතා සඳහන් කර ඇත්තේ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ බව කියන රිය අනතුරු සිද්ධියකට අදාළව චෝදනා හතරක් යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවය.

එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සිය නීතිඥවරු මතු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළ බව පවසමින් පාඨලී චම්පික රණවක මහතා විසින් මේ ප්‍රතිශෝදන පෙත්සම ඉදිරිපත් කරන ලදී. මහාධිකරණ විනිසුරුවරයාගේ මේ තීරණය නීතියට පටහැනි බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත. එබැවින් මහාධිකරණ නඩු විභාගය අත් හිටූවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම තමන්ව අදාළ චෝදනා වලින් නිදහස් කරන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී. නීතිඥ සංජීව කලුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා සහ නීතීඥ කීර්ති තිලකරත්න මහතා පෙත්සම්කාර ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published.