හෙට සිට සීමා සහිතව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන තෙක් හෙට සිට සීමා සහිතව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනවා.
ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන සැපයෙන අතර, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.
ඉදිරි සතියක කාලය සඳහා යතුරුපැදියකට උපරිම රුපියල් 1500ක සීමාවකට යටත්වත්, ත්‍රිරෝද රථයකට රුපියල් 2000කට යටත්වත් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන
තිබෙනවා.
මෙම ක්‍රියාවලියට අනුගත නොවන පිරිසට සහ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබා නොදීමට තීරණය කර ඇති බවයි බලශක්ති අමාත්‍යංශය දැනුම් දෙන්නේ.
ඒ අනුව වාහනයේ අවසන් අංකය 0,1,2 සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදාත්, 3,4,5 සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදාත් 6,7,8,9, සඳහා සඳුදා, බදාදා, සිකුරාදා යන දිනයන්හිදී ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතිනවා.
මෙම වැඩපිළිවෙළ හෙට සිට ආරම්භ වන බැවින් හෙට දිනයේ වාහනයේ අවසන් අංකය 3,4,5 ලෙස දැක්වෙන වාහනවලට සිපෙට්කෝ පිරවුම්හල් මගින් ඉන්ධන සැපයෙනවා.
මේ අතර වරාය පරිශ්‍රයේ සහ තල්දියවත්ත මුහුදු සීමාවට පැමිණි නෞකාවලින් ඉන්ධන ගොඩබෑමේ කටයුතු සිදු කෙරුණා.
සිපෙට්කෝ පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදා හැරීමට තෙල් බවුසර මුතුරාජවෙල ඛනිජ තෙල් බෙදා හැරීමේ පර්යන්තයට පැමිණ තිබුණත් අද දිනයේත් ඉන්ධන නිකුත් කෙරුණේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ අදත් බස් රථ ධාවනයට බාධා එල්ල වුණා.
මේ අතර අද දිනයේ පැය 3 විනාඩි 40 කාලයක් විදුලිය ද විසන්ධි කිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.