ජනතාව අපේක්ෂා කරන වෙනස ලබා දිය හැකි බව ජනපති කියයි

රජනතාව අපේක්ෂා කරන වෙනස තමාට ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත අද පස්වරුවේ පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි. තමාගේ අපේක්ෂාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළා. පවතින දේශපාලන ක්‍රමය වෙනස් කර තරුණයන්ගේ අදහස් මෙන්ම අනෙක් අදහස්වලට ද ඇහුම්කන් දෙමින් කටයුතු කළ යුතු බවයි ඔහු කියාසිටියේ.
සාමකාමීව විරෝධතාවල නිරත වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව පවතින අතර අරගලය මුවාවෙන් නිවාස ගිනි තැබීම මෙන්ම විවිධ ස්ථාන අත්පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
එවැනි ක්‍රියා නීති විරෝධී වන අතර එවැනි කටයුතුවල නිරතවන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළා.
අරගලයේ නිරත තරුණයන්ට අනාගතයක් හැදීමට අවශ්‍ය නම් ඊට සම්පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. එමෙන්ම සාමකාමීව අදහස් ප්‍රකාශ කිරිමට ඇති අයිතිය මේවන විට යටපත් වී ඇති අතර ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට වේදිකාවක් සකස් කර දීමට ද හැකි බවයි ජනපතිවරයා සඳහන් කළේ.
මේ අතර නව අගමැතිවරයා සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයාට මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයක් යොමු වුණා.
ඊට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයෙක් යනු පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහයෝගයක් ඇති අයෙක් බවයි. තමාගේ පක්ෂයේ සිටින්නේ තමා පමණක් වන බැවින් අගමැතිවරයෙකු තෝරා ගැනීම තමාට සිදු කළ නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
මේ අතර ජනාධිපතිවරයා අද දහවල් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ ආරක්ෂක අංශ සාමාජිකයින් සමග සුහද කතාබහක ද නිරත වුණා.
පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතුවල රාජකාරී ඉටු කළ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිය ස්තුතිය පළ කළා.
ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වූ සියලු දෙනාට තමන් ස්තුතිවන්ත වන බවයි.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published.