පොදු රද මඬුලු කාන්තා ක්‍රිකට් පිටියට චමරිගේ නායකත්වයෙන් සවිමත් කණ්ඩායමක්

ශ්‍රී ලංකා කාන්තා විස්සයි 20 කණ්ඩායම

චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්සිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ශෙහානී, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා, ඕෂධී රණසිංහ, අනුෂ්කා සංජීවනී.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ කාන්තා විස්සයි20 තරගාවලිය සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් සහ යොවුන් ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතව ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. ප්‍රවීණ පිතිකාරිනිය චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් ඇතුළත් වෙති.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පන්දු යැවීම සහ පන්දු යැවීම ඉහළ මට්ටමක පැවැතියද විශ්වසනීය ලෙස පිතිහරඹයේ නිරතවීමට ජාත්‍යන්තර වශයෙන් ඉහළ මට්ටමක පසු වන නායිකා චමරි අතපත්තු හැරුණු විට සෙසු පිතිකාරිනියන් අසමත්වීම මේ තරගාවලියේදී මඟහරවා ගැනීමට හැකි වන්නේ නම් ප්‍රතිවාදී කණ්ඩායම් හමුවේ අභියෝගයක් එල්ල කිරීමට අවස්ථාව උදා වනු ඇත.

මෙවර ශ්‍රී ලංකා පිලට දඟපන්දු යවන ක්‍රීඩිකාවන් ලෙස මල්ෂා ශෙහානි සහ නවක ක්‍රීඩිකා රශ්මිද සිල්වා ඇතුළත්ව සිටින අතර, පසුගියදා නිමාවට පත් වූ ඉන්දියාවට එරෙහි විස්සයි20 තරගාවලියේදී කඩුලු අතර සිටි ඕෂධී රණසිංහ සහ ඉනෝකා රණවීර ප්‍රවීණ ක්‍රීඩිකාවන් ලෙස එක්වී සිටිති. වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනී සමග අමා කාංචනා ද කණ්ඩායමට ඇතුළත් වී සිටිති. මේ වන විට ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්ව සිටින තුන්ඉරියව්වෙන් දස්කම් දක්වන කවීෂා දිල්හාරි ද කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව සිටී.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ එංගලන්තයේ බර්මින්හැම් නුවරදී මේ මස 29 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ‘බී‘ කාණ්ඩයෙන් තරගාවලියට එක්වී සිටින්නේ එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සමගය.

එංගලන්තය ජාත්‍යන්තර විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන අතර, නවසීලන්තය තුන්වැනි ස්ථානයේ සහ දකුණු අප්‍රිකාව පස්වැනි තැන සිටී. එබැවින් මූලික තරග වටයේදීම ශ්‍රී ලංකා පිලට ප්‍රබල අභියෝගයකට මුහුණු දීමට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published.