ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීමක් සිදු වී ඇති අතර, ඒ සම්බන්ධව පරීක්ෂණ කිරීමට රහස් පොලිසියට භාර දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිවුරුම් දෙන අවස්ථාව ස්වාධීන රූපවාහිනිය මගින් සජීව ලෙස විකාශය කිරීමට නියමිතව තිබූ අතර, සෙසු රූපවාහිනි නාලිකා මගින් එහි සමගාමි විකාශයක් ප්‍රචාරය කිරීමට නියමිතව තිබිණි.
ජනාධිපතිවරයා රතු පලස මතින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමෙන් පසු එම සජීව විකාශය නැවතී ගියේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය බිඳ වැටීමක් නිසා සජීව විකාශය නතර වූ බවට පසුව වාර්තා විය. විනාඩි දහයක පමණ කාලයක් මෙසේ විදුලිය බිඳ වැටී තිබූ බව වාර්තා වේ. මේ හේතුව නිසා රූපවාහිනි නාලිකාවලට සජීවි විකාශ ආවරණය කර ගැනීමට නොහැකි වී තිබේ.