උද්ධමනය තවත් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද) මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් වශයෙන් වාර්තා වී තිබේ.

එය 2022 මැයි මාසයේ සටහන් වී තිබුණේ සියයට 45.3ක් ලෙසය.

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම් හේතුවී ඇත.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 58.0 හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 75.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති සියයට 34.2 හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 43.6 දක්වා ඉහළ ගියේය.

2022 ජුනි මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 10.91ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 7.25කින් සහ සියයට 3.66කින් ඉහළ යෑම මේ සඳහා හේතු විය.

ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ සහල්, එළවළු, නැවුම් මත්ස්‍ය, සීනි, කිරිපිටි සහ කරවල මිල ගණන් ඉහළ ගියේය.

තවද, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 ජුනි මාසයේ දී, ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව, ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය.

තවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 16.3හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 20.8 දක්වා ඉහළ ගියේය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 37.7හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 49.3 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 13.0හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 16.8 දක්වා ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published.