වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ වුවමනාවෙන් ජනපති ධුරයට තරග කළා-මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ වුවමනාව පෙරදැරිව ජනාධිපති ධුරයට තරග කළා මිස එම ධුරය තවදුරටත් ආභරණයක්, වත්කමක්, ගෞරවයක් ලෙස සලකාගෙන තරග නොකළ බව ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් පසුව සභාව ආමන්ත්‍රණය කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.

“දේශපාලන සංස්කෘතිය පිළුණු වෙමින් සහ දේශපාලකයාගේ නාමය ක්ෂය වෙමින් යන අවස්ථාවක පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම මූලික වගකීම විය යුත්තේ මෙරට දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය ගොඩනඟා ගැනීමයි.

“කණ්ඩායමක් විදියට අපි මේ තරගයට ඉදිරිපත් වීමට තීරණය කළේ තවදුරටත් මේ ජනාධිපති ධුරය ආභරණයක්, වත්කමක්, ගෞරවයක් විදියට සලකාගෙන නොවේ. ජාතික න්‍යාය පත්‍රය වෙනුවට පක්ෂ පුද්ගල න්‍යාය පත්‍ර කේන්ද්‍ර කර ගනිමින් ඒවාට ප්‍රමුඛත්වය දෙමින් ව්‍යවස්ථාවෙන් ද, ව්‍යවස්ථා සංශෝධනයන් ද කරමින් ජනතා පරමාධිපත්‍ය පාවා දෙමින් නිදහස ලැබූ දින සිට අපි අත් විඳි වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ වුවමනාව පෙරදැරිව මේ ධුරයට මම තරග වැදුණා. ඡන්දවලින් ඉලක්කම්වලින් ලැබූ පරාජය පරාජයක් විදියට නොව ධෛර්යය සම්පන්න මඟ පෙන්වීමක් විදියට අපට උදව් කළ සුබ පැතූ සියලු දෙනාටම දැනුම් දෙන්න මම කැමතියි. ඉතිහාසයේ පළමු සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනැඟීම අපේ පළමු වුවමනාව වුණා. ප්‍රායෝගිකව සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනැඟීමට අපට අවශ්‍ය වුණා. ඒක තමා අපේ අභිප්‍රාය. මේ පරාජය වුණත් අපි විශ්වාස කරනවා ඒ සම්මුතිය අගයන මේ රටේ අති බහුතර ජනතාවගේ මල් ඵල ගැන්වීම ඒ බලාපොරොත්තුව කඩවීමක් විදියට අපි හිතන්නේ නැහැ. ප්‍රතිඵලය කුමක් වුවත් මේ සම්මුතිවාදය ලෝකයටම පරමාදර්ශයක් සපයා තිබෙනවා. විශේෂයෙන්ම කලාපයේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විදියට. බොහෝ දෙනකුගේ කැපවීම නිසා ඊට මඟ පෑදුණා. විශේෂයෙන්ම අවවාදයට වඩා ආදර්ශය උතුම් බව රටට පසක් කරමින් පෞද්ගලික අභිමතාර්ථයන් පසෙක ලා මා ජනාධිපති ධුරයට නිර්දේශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එය ස්ථිර කරමින් ශක්තියක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිස මේ වෙනුවෙන් මහන්සි වුණා. බහුතර පක්ෂයන් මා සමඟ එක් වුණා. ජරාජීර්ණ වූ දේශපාලනය පසෙකලා මා සමඟ ඔවුන් එකතු වුණා. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන අතරේම මේ අරමුණු වෙනුවෙන් කැප වූ පාර්ලිමේන්තුවේ හැම දෙනාටම මගේ පෞද්ගලික ගෞරවයත්, මෙරට මිලියන ගණනක් ජනතාවගේ ගෞරවයත් මා ප්‍රකාශ කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසුවා සේම අද අපි පසු කරන්නේ අපේ මාතෘභූමියේ නිදහසින් පසුව ගත කරන අමාරුම කාලය. ඒ ගැන විවාදයක් නැහැ. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් පාර්ලිමේන්තුව තුළ පිළිඹිබු කරමින් රනිල් වික්‍රමසිංහ මහතාත්, අනුර කුමාර දිසානායක මහතාත් ඉදිරිපත් වුණා. කුමන දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද ඒ හැම දෙනාටම අපේ කණ්ඩායම වෙනුවෙන් සහෝදරත්වයේ හස්තය දිගු කරනවා. රට සුවපත් කිරීම අප්‍රමාදී කර්තව්‍යයක් විය යුතුයි. සුවපත් රටකට නැවත නැඟිටිය හැකියි. රෝගී රටකට නැවත නැඟිටිය නොහැකියි. ඒ සඳහා අප සියලු දෙනාගේම සහාය අවශ්‍යයයි. අපි හැම වේලාවේම කල්පනා කළේ මේ දියවන්නා දූපත මැද සිටින පවුල් 225 ගැනයි. අපේ ඉතිහාසයේ තීන්දු ගෙන තිබෙන්නේත් දියවන්නා දූපත මැද සිටින පවුල් 225 ගැන. නමුත් අපි බැලුවේ දියවන්නාවෙන් එළියේ සිටින පවුල් ලක්ෂ 58 ක් ගැනයි. ඒ නිසා අපි එකට හිට ගත යුතුයි. දියවන්නාවෙන් එළියේ තිබෙන ඉන්දියන් සාගරයේ මැද කුඩා දූපතේ ජීවත්වන මිලියන 22 ක ජනතාවත් අප සමඟ හිට ගනියි කියලා අපි විශ්වාස කරනවා. දේශපාලන සංස්කෘතිය පිළුණු වූ අවස්ථාවක දේශපාලකයාගේ නාමය ක්ෂය වෙමින් යන වේලාවක මේ පාර්ලිමේන්තුවේ අපි සෑමදෙනාගේම මූලික වගකීම විය යුත්තේ මෙරට දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය ගොඩනඟා ගැනීමයි. අහිමි වූ විශ්වාසය ගොඩනඟා ගත යුතුයි. ඒක ඉලක්කම්වලින් ගොඩනඟා ගත හැකි දෙයක් නොවේ. කථානායකවරයා මගේ දිස්ත්‍රික්කයේ. මගේ තාත්තා මාතර දිස්ත්‍රික්කයේ ඈත පළාතක බුලත් විට කන විදුහල්පතිවරයෙක්. මහ හීන තියාගෙන මේ දේශපාලනයට අපි ප්‍රවිෂ්ට වුණේ නැහැ. 1993 වසරේ මම දේශපාලනයට පැමිණෙන විට සිටියේ සිරිමාවෝ මැතිණියත්, මංගල සමරවීර මහතාත් යන දෙදෙනායි. ඒ දෙදෙනාම අද ජීවතුන් අතර නැහැ. සම්මත ප්‍රභූ දේශපාලනය වෙනුවට නිර්ප්‍රභූ දේශපාලනය ගෙන ඒමට උත්සාහ කළත් ඉතිහාසයේ සෑම අවස්ථාවකම එම උත්සාහය අසාර්ථක වුණා. මේ රට සෞභාග්‍යය කරා ගමන් කරවීමට අවශ්‍යයයි. ජනාධිපතිවරයා අපගේ සහාය ඉල්ලා සිටියා. කණ්ඩායමක් විදියට අප එකට සිටියා. පෞද්ගලිකව මගේ කිසිදු තරහක් නැහැ. මගේ දේශපාලනය ජීවිතය අවුරුදු 29ක්. මම මගේ කඳවුර කිසිදිනක පාවා දී නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වාහන බලපත්‍ර දෙන විට බලපත්‍ර 6 ක් අතට නොගත් මිනිහා මම. මම කෝටිපතියෙක් නොවේ. සල්ලිකාරයෙක් නොවේ. මම හිතුවේ මහජන වරප්‍රසාද විකුණාගෙන කන එක අසාධාරණයි කියලා. ගම්වලින් ගත් දේ එයයි. මට සහාය දුන් නොදුන් හැම අයකුටම මම කෘතවේදී වෙනවා. දේශපාලන ගමනේ තවත් එක් හැරවුම් ලකුණක් ලෙස මේ අවස්ථාව සටහන් කර ගත හැකියි. නව ජනාධිපතිවරයාට සහ ගොඩනඟන ආණ්ඩුවට සැබැවින්ම මම සුබ පතනවා. එළියේ දුකින් පීඩා විඳින තරුණයන් ඇතුළු සමස්ත ජනතාවගේ හඬට දැන්වත් ඇහුම්කන් දිය හැකි මනසක් නිර්මාණය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ රටට සුබ අනාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

Leave a Reply

Your email address will not be published.