රට ගිනි තැබූ කළු ජූලිය

1983 ජූලියේ සිදු වූ දෙමළ ජන පීඩනය හැඳින්වීමට බහුලව යෙදෙන වචනය කළු ජූලිය යන්නයි. ඒ අනුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් සිදු වූයේ 1983 ජූලි 24 සිට ජුලි 30 දක්වා කාලය තුළදී වන අතර, එය සිදු වී 2022 ජූලි 24 වැනිදාට වසර 39 කි. මෙ රටේ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි ආරම්භයට 1983 දී යාපනයේ හමුදා සෙබළුන් 13ක් මරණයට පත් වීමේ සිදුවීමට එහා ගිය ඉතිහාසයක් තිබේ. 1983 කළු ජූලිය ද ඊට පෙර 56, 58, 77 සහ 81 ආදී වසරවල සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් ද එකම පියවරයන් බව සඳහන් කළ හැකිය.

දෙමළ ජනයාගේ භාෂා අයිතීන් අහිමි කිරීම

ඉන්දීය දෙමළ ජනයාගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීමේ සිද්ධියෙන් පසු දෙමළ ජනතාවගේ භාෂා අයිතීන් අහිමි කෙරෙන ආකාරයට 1956 දී ක්‍රියාත්මක කළ සිංහල රාජ්‍ය භාෂා නීතිය සුළු ජන වර්ගයක් බලවත් ලෙස පීඩාවට ලක් කෙරුණු අවස්ථාව ලෙස සැලකිය හැකිය. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා බලයට පැමිණ පැය 24 කින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරන්නේ යැයි මැතිවරණ පොරොන්දුවක් ලබා දුන්නද, 1956 අප්‍රේල් මාසයේ පැවති මහ මැතිවරණයෙන් බලයට පත් බණ්ඩාරනායක සිංහල පමණයි කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ජුනි මස 05 දින දක්වා ප්‍රමාද කළේය. මේ කාලය තුළ දෙමළ ජනතාව මුළුමනින්ම කොන් කිරීමට ලක් නොකර දෙමළ දේශපාලන නායකත්වය සමඟ යම් සම්මුතියක් ඇති කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. සිංහල භාෂාව පැය 24 කින් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ බණ්ඩාරනායක පෙරොන්දුව ඉටු වීම ප්‍රමාදයට පත් වන විට සිංහල අන්තවාදී බලවේග නොසන්සුන් බවට පත් වූ අතර ඔවුහු අගමැතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කිරීමටත්, දෙමළ විරෝධී ප්‍රචාරයක් ඇරඹූහ. අවසානයේ බණ්ඩාරනායක නැගී එන සියලු ස්වෝත්තමවාදී රැල්ල හමුවේ යටත් වෙමින් තමන්ගේ භාෂා පනත් කෙටුම්පතේ දෙමළ ජනයාට සහනයක් ලෙස තිබූ වගන්ති දෙක එනම් පරිපාලන කටයුතුවලදී ප්‍රාදේශීය වශයෙනුත් රජයේ නිලධාරීන් සඳහා වන විභාගවලදීත් දෙමළ භාෂාව ද භාවිත කිරීමට ඉඩ හැරීම සඳහා වන වගන්ති මකා දැමුවේය. සිංහල දැඩි මතධාරීන් හා ප්‍රබල බෞද්ධ පූජකයන් තමන් වෙත දිනා ගැනීමට බණ්ඩාරනායකට වුවමනා විය. ඔහු ශ්‍රී ලංකාව තුළ සියලුම මෝටර් රථ වාහන අංක තහඩුවලින් මුලින් ශ්‍රී යන්න සිංහලෙන් යෙදීම අනිවාර්ය කළේය. මේ සම්බන්ධයෙන් දෙමළ ප්‍රදේශවල විරෝධතා පැන නැඟුණු අතර දෙමළ දේශපාලනඥයෝ සිංහල ශ්‍රී අකුර වෙනුවට දෙමළ බසින් ශ්‍රී අකුර යොදන ලෙස මෝටර් රථ වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටියෝය.

බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම

සිංහල පමණයි පනත සම්මත කිරීමත් සමග ඇස්. ජේ. වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් ෆෙඩරල් පක්ෂය විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සත්‍යග්‍රහයක් සහ හර්තාලයක් කැඳවනු ලැබිණි. වර්ධනය වන දෙමළ ආවේගය පාලනය කිරීම පිණිස බණ්ඩාරනායක ඇගමැතිවරයා 1957 අප්‍රේල් 25 වැනි දින දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම වෙනසක් සඳහා කරුණු සොයා බලා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කළේය. එය දෙමළ නායකයන්ට දෙන ලද සංඥාවක් විය. අනතුරුව ෆෙඩරල් පක්ෂයේ නායකයන් සමග සාකච්ඡා කරන තැනට යමින්, දෙමළ භාෂාව උතුරු සහ නැගෙනහිර පළාත්වල පරිපාලන ආයතන පිහිටුවා බලය විමධ්‍යගතකරණය කිරීමක් පිළිබඳ වැඩපිළිවෙළක් සඳහා ෆෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් සමග 1957 ජූලි 26 වැනිදා ගිවිසුමක් ඇති කරගත්තේය. මෙම බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම සිංහල ජාතිය සහ රට පාවාදීමකැයි කියමින් එක්සත් ජාතික පක්ෂය විසින් රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළේ මේ අතරේදීය. ජේ. ආර්. ජයවර්ධන ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහා කොළඹ සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාව බලා ගමන් ගන්නා පා ගමනක් සංවිධානය කළේය.

1958 අප්‍රේල් මස 09 වැනි දින බණ්ඩාරනායකගේ රොස්මිඩ් මන්දිරයට පැමිණි බෞද්ධ භික්ෂූන් 200ක් පමණ පිරිසක් බණ්ඩාරනායකට එම ගිවිසුම අහෝසි කරන ලෙස බල කළහ.

සිය කැබිනට් ඇම­ැතිවරු කීප දෙනෙකු සමග සාකච්ඡා කළ අගමැති බණ්ඩාරනායක එකඟතා ගිවිසුම ප්‍රසිද්ධියේ ඉරා දැමුවේය. එමෙන්ම ගිවිසුම අහෝසි කළ බවට ලිඛිත ප්‍රකාශයක් ද ඔහු විසින් භික්ෂූන්ට ලබා දුන්නේය. මෙම තත්ත්වය චෙල්වනායගම් ඇතුළු දෙමළ නායකයන්ට ප්‍රසිද්ධියේ එල්ල කළ අතුල් පහරක් විය. නැවතත් තමන්ගේ අයිතීන් වෙනුවෙන් සාමකාමී උදඝෝෂණ හා සත්‍යග්‍රහ ව්‍යාපාරය ඇරඹීම හැර ෆෙඩරල් නායකත්වය හමුවේ අන් විකල්පයක් නොවිණි.

1958 ජාතිවාදී කෝලාහලය

58 ජාතිවාදී කෝලාහලය ආරම්භ වන්නේ, වවුනියාවේ පැවති ෆෙඩරල් පක්ෂයේ පස් වැනි සම්මේලනයට ගොස් ආපසු මඩකලපුව බලා එන දෙමළ නියෝජිතයන් රැගත් දුම්රියට පොලොන්නරුවේදී ජාතිවාදී මැරයන් විසින් එල්ල කරන ලද පහරදීමකිනි. මෙම පහර දීමෙන් දෙමළ ජාතිකයින් දෙදෙනකු මරා දැමුණි.

යාපනය හර්තාලය

අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරයට පත් වූවාය. ඒ අනුව 1961 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිංහල භාෂාව රටේ පරිපාලන භාෂාව බවට පත් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළේය. ඊට විරෝධය පළ කිරීම සඳහා ෆෙඩරල් පක්ෂය 1961 ජනවාරි 02 වැනි දින උතුරු නැගෙනහිර ප්‍රදේශවල සත්‍යග්‍රහ ව්‍යාපාරයක් දියත් කරන ලදී.

පරිපාලනය සම්පූර්ණයෙන් සිංහලට හැරවීමේ ක්‍රියාමාර්ගය 1964 වන විට අවසන් කිරීම සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ බලාපොරොත්තුව විය. නමුත් එවකට ක්‍රියාත්මක වූ වෙළෙඳ පොළ ධනේෂ්වරය ඇති කළ අර්බුදය තුළ සභාග රජය බිඳ වැටී 1965 දී එක්සත් ජාතික පක්ෂය ෆෙඩරල් පක්ෂය සමග එකඟතාවකට පත්ව හවුල් ආණ්ඩුවක් ස්ථාපනය විය.

ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුම

1965 මාර්තු 24 වැනි දින ඩඞ්ලි චෙල්වනායගම් ගිවිසුම අනුව 1966 දෙමළ භාෂා විශේෂ විධි විධාන පනත් සකස් වුණි. මෙම ගිවිසුම අනුව සියලුම ව්‍යාපාරික ගනුදෙනු කිරීම සඳහා ද උතුරු හා නැගෙනහිර පළාත්වල රජයේ නීතිගත සංස්ථාවල සහ ව්‍යවස්ථාපිත ආයතනවල හෝ පොදු වාර්තා පවත්වාගෙන යෑම සඳහා ද රජයේ නීතිගත සංස්ථා විසින් සහ ව්‍යවස්ථාපිත ආයතයන් විසින් සිංහල පළාත්වල නිකුත් කරන සියලුම නිල ප්‍රකාශක චක්‍ර ලේඛන හා ආකෘති පත්‍ර දෙමළ භාෂාවෙන් ද නිකුත් කළ යුතු යැයි නීති පැනවුණි. එසේම දෙමළ භාෂාව කතා කරන පුද්ගලයකුට දිවයිනේ ඕනෑම ස්ථානයක දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය ලැබෙන අයුරු නීති පැනවුණි. මෙම පනතට එරෙහිව ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් සන්ධානය විහාර මහා දේවි උද්‍යානයේ සංවිධානය කළ විරෝධතා පෙළපාළියකට එල්ල කරන ලද පොලිස් වෙඩි පහරකින් බෞද්ධ හිමි නමක් වූ දඹරාවේ රතනසාර හිමි මරණයට පත් වූහ.

1966 ජනවාරි 08 වැනිදා සිදු වූ මේ භික්ෂු ඝාතනයෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් නැවතත් දේශප්‍රේමී බලවේග සංවිධානය වූ අතර 1970 සමගි පෙරමුණ රජයේ ඓතිහාසික ජයග්‍රහණයන්ට මූලික වූයේ මේ සිද්ධි මාලාවයි. මේ අනුව ප්‍රතිවිරෝධී ව්‍යාපාරයත් මගින් එල්ල කරන ලද ප්‍රබල විරෝධතා හේතුවෙන් එම ගිවිසුම ද අසාර්ථකත්වයට පත් විය.

දෙමළ එක්සත් පෙරමුණ පිහිටුවා ගැනීම

1972 මැයි මස 14 වැනි දින ත්‍රිකුණාමලයේදී රැස් වූ ෆෙඩරල් පක්ෂය, ද්‍රවිඩ කොංග්‍රසය, ලංකා කම්කරු සංගමය හා සමස්ත ලංකා ද්‍රවිඩ සම්මේලනය යන සංවිධාන එකට ඒකාබද්ධ වී දෙමළ එක්සත් පෙරමුණ පිහිටුවා ගත්තේය. 1972 මැයි 22 වැනි දින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලද අතර දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ බහුතරයක් එය වර්ජනය කළෝය.

කළු ජූලිය

දිනය 1983 ජූලි 23 වැනිදා මැදියම් රාත්‍රියයි. සුපුරුදු පරිදි යාපනයේ රාත්‍රී මුර සංචාරයෙහි යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස කෙමෙන් තින්නෙවේලි හන්දිය අසලට ළඟා වෙමින් සිටියහ. 15 දෙනෙකුගෙන් යුක්ත හමුදා භට කණ්ඩායම ගමන් කළ මාර්ගයෙහි අටවා තිබූ බිම් බෝම්බය පුපුරා ගියේ ඉදිරියෙන් ගමන් කළ ජීප් රථය කැබලි බවට පත් කරමිනි. සැඟවී සිටි එල්ටීටීඊ සාමාජිකයන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මුර සංචාරයේ යෙදුණු සෙබළුන් 15 දෙනා අතරින් 13 දෙනෙකු මළවුන් අතරට යැවිණි.

මියගිය හමුදා භටයන්ගේ මළ සිරුරු කොළඹට ගෙන ඒමට රජය තීරණය කරන ලදි. මියගිය හමුදා සොල්දාදුවන්ගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකිරීමට සියලුම විධිවිධාන සැලසුණි. දිවයිනේ විවිධ ප්‍රදේශවල පිරිස් බොරැල්ල කනත්තට එක්රැස්ව සිටින ලදී. කුමන හේතුවක් මත හෝ හමුදා සෙබළුන්ගේ දේහයන් කනත්තට ගෙන ඒම පමා වෙමින් තිබිණි. එය රැස්ව සිටි ජනතාව අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට සමත් වී තිබිණි. අවසානයේ බොරැල්ල කනත්තේ දී පැවැත්වීමට නියමිතව තිබුණු අවමංගල උත්සවය අවලංගු වූ අතර අදාළ ගම් ප්‍රදේශවලට එම දේහයන් යැවීමට තීරණය විය. කෙසේ වෙතත් කනත්ත අසලට රැස්ව සිටි ජනතාව අතර ඇතිවූ කෝපය කොළඹ නගරය ඇතුළු දිවයින පුරා දෙමළ ජාතිකයන්ගේ ජීවිත හා දේපළ බිලිගන්නා ලද ජාතිවාදී ගින්නක් බවට පරිවර්තනය විය. ජූලි ප්‍රචණ්ඩත්වයෙන් පසුව ජවිපෙ ඇතුළු වාමාංශය මත වරද පැටවීමට තැත්කළ ජයවර්ධන ඒවා තහනම් කර දැම්මේය. ඔවුන් පත්ව සිටි තත්ත්වය මෙබඳු වූ හෙයින් ඔවුන් ප්‍රසිද්ධියේ කියූ දේවල් නිහඬ කරවන ලදී.

1983 ජූලි දෙමළ ජන සංහාරය නිසා ලක්ෂයකට අධික දෙමළ ජනතාවක් සරණාගතයන් වශයෙන් ඉන්දියාවට පලා ගියහ. රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මරණයට පත් වූ සංඛ්‍යාව 471කි. නිල නොවන සංඛ්‍යා ලේඛන අනුව මිය ගිය සංඛ්‍යාව 1500ක් පමණ වූ බව සඳහන් වේ. තුවාලවලට ලක් වූ අයගේ සංඛ්‍යාව 3769ක් වන අතර සිදු වූ මංකොල්ල කෑම් සංඛ්‍යාව 3835 කි. නිවාස 8000ක් ද සාප්පු 5000ක් ද පමණ විනාශ විය. මේ අනූව කළු ජූලිය නිසා සිදුවූ විනාශය ලෝකයට රහසක් නොවේ.

Leave a Reply

Your email address will not be published.