එයිට්කන් ස්පෙන්ස් සූර්ය බලශක්ති ප්‍රවර්ධනයට බිලියන 1.4ක් ආයෝජනය කරයි

ස්ථිරසර සංවර්ධනයක් උදෙසා කරනු ලබන කැප වීම නැවත වරක් පෙන්නුම් කරමින් සගසෝලා පවර් (පෞද්ගලික) සමාගම පවරාගැනීමට එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය ඉදිරිපත් වී තිබේ. එහි ප්‍රධාන කොටස් හිමිකරු වන එල්.ඕ.එල්.සී සමාගමෙන් පවරාගන්නා ලද කොටස් වෙනුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය රුපියල් බිලියන 1.4ක් ආයෝජනය කර ඇත. පුනර්ජනනීය බලශක්ති අංශයෙන් බලශක්ති උත්පාදනය වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති හා බලශක්ති උපාය මාර්ගයන්ට අනුගත වෙමින් එයිට්කන් ස්පෙන්ස් සමාගම මේ තීරණයට පැමිණ ඇත. පිරිසුදු බලශක්ති උත්පාදනයකට සහ බලශක්ති ඉල්ලුම ඉහළ නැංවීමටත්, අපගේ ජාතික කාබන් වියුක්තිය අඩු කිරීමට ධනාත්මක දායකත්වයක් දීම සඳහාත් පුනර්ජනනීය බලශක්තිය සඳහා පිය එසවීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම මුලපුරා තිබේ. සූර්ය බල ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරනු ලබන විදුලිය මෙගාවොට් 10කි. වාර්ෂිකව ගතහොත් එය දළ වශයෙන් කිලෝ වොට් මිලියන 18කි.

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය විසින් අත්පත් කර ගනු ලැබ ඇත්තේ අක්කර 45කට අධික වපසරියක් පුරා විහිදෙන රටේ ප්‍රථම මහා පරිමාණ සූර්ය බල උත්පාදක මධ්‍යස්ථානයයි. මේ ව්‍යාපෘතිය ප්‍රථම වරට ආරම්භ කරන ලද්දේ 2016 ඔක්තෝබර් මාසයේදීය. මේ සූර්යබල උත්පාදක මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ වාර්තාගත ඉහළම සූර්ය විකිරණ මට්ටම ඇති හම්බන්තොට බුරුතකන්ද ප්‍රදේශයේ පිහිටා ඇත.

“ඉතා අසීරු තත්වයන් මධ්‍යයේ වුවත්, මෙය එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් ගන්නා ලද තවත් නිර්භීත පියවරක් වශයෙන් සැලකිය යුතුයි. එයින් පෙන්නුම් කරන්නේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සමඟ තිරසර බලශක්ති උත්පාදනය පුළුල් කිරීමට අපගේ කැපවීමයි. මෙරට පුනර්ජනනීය බලශක්ති අංශයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට සූර්ය බලශක්තියට පුළුවන්. මේ මුලපිරීම මගින් පිරිසුදු බලශක්ති ප්‍රභව සහ තිරසර මෙන්ම දැරිය හැකි බලශක්ති උත්පාදන ක්‍රමවේදයක් අපට නිර්මාණය කර ගත හැකියි. එමගින් ඵලදායි කළමනාකරණයක් කරා ගමන් කිරීමට රට දරන උත්සාහය වඩාත් ශක්තිමත් කරාවි” යැයි එයිට්කන් ස්පෙන්ස්හි නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ එයිට්කන් ස්පෙන්ස් බලශක්ති අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලීල් වික්‍රමආරච්චි මහතා, “මෙය සූර්ය බලශක්ති උත්පාදනයේ අපගේ පළමු ප්‍රධාන ව්‍යාපෘතියයි. ඒ සඳහා වන සියලු අවශ්‍යතා සපුරාලීම සඳහා දැඩි කළමනාකරණ රීති සහ ක්‍රමවේද අලුතින් අත්පත් කර ගත් සූර්ය බලශක්ති බලාගාරය වෙත යෙදවීමට අප බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published.