අඛණ්ඩව 14 වැනි වරටත් අංක එකේ බැංකු සන්නාමය BOC

ලංකා බැංකුව (BOC) දේශීය මූල්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනඟාගෙන ඇති ස්ථාවරත්වය නැවතත් තහවුරු කරමින් Brand Finance Lanka ආයතනය මගින් වාර්ෂිකව කරන ශ්‍රේණිගත කිරීමේදී මෙවරත් අංක 1 බැංකු සන්නාමය ලෙස නම් කෙරුණු අතර, මෙය ලංකා බැංකුව අඛණ්ඩව එම ජයග්‍රහනය හිමි කර ගත් 14 වැනි වතාව වීම විශේෂිතය. එමෙන්ම 2022 වසරේදී රුපියල් බිලියන 53.919ක සන්නාම වටිනාකමක් වාර්තා කළ BOC සන්නාමය වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ රුපියල් බිලියන 50 ඉක්මවන එකම බැංකු සන්නාමය බව ද සඳහන් කළ යුතුමය.

මෙරට ජනතා අභිලාෂයන් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ක්‍රියා කිරීම මෙන්ම, මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම හා නව්‍යකරණය වූ මූල්‍ය සේවා පිළිබඳ මෙරට ජනතාවගේ විශ්වාසය ගොඩනඟමින් සුවිශේෂි මූල්‍ය සේවාවක් දීම යන කරුණු නිසාම ලංකා බැංකුව අද දක්වාම සිය පැවැත්ම හා ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වී ඇත. එමෙන්ම සමාජ ආර්ථික සැලැස්මෙහි සංයුතිය පිළිබඳ ලංකා බැංකුව සතු ඉතා හොඳ අවබෝධය නිසාම මෙරට මූල්‍ය ක්ෂේත්‍රය වෙත නව සේවා රැසක් හඳුන්වා දීමට ද බැංකුව සමත් වී ඇත.

ලබා ගත් මේ සුවිශේෂි ජයග්‍රහනය පිළිබඳ අදහස් දක්වමින් ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා පැවසුවේ, ‘‘ ශ්‍රී ලාංකීය උරුමයන් හා අභිලාෂයන්ට සරිලන මේ රටේ ජනතාවගේ සිත් සතන් තුළ ගැඹුරින් මුල් බැස ගත් දේශීය සන්නාමයක් විදිහට ලංකා බැංකුව කෙරෙහි ජනතාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන් තබා ඇති විශ්වාසයට මගේ කෘතඥතාව පළ කරනවා‘‘ යනුවෙනි.

ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි මහතා මේ පිළිබඳ අදහස් දක්වමින්, ‘‘ ලංකා බැංකුව අඛණ්ඩව වසර 14ක් අංක එකේ බැංකු සන්නාමය බවට පත් කර ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක්. ලංකා බැංකුව මෙරට ජනතාවගේ අවශ්‍යතා ඉතා හොඳින් අවබෝධ කර ගනිමින් ඔවුන්ට ගුණාත්මක සේවාවක් දෙන බවට මේ සම්මානය හොඳ උදාහරණයක්. ඒ නිසාම අතීතයේදී, වර්තමානයේදී වගේම අනාගතයේදීත් ලංකා බැංකුව මෙරට ජනතාවගේ අවශ්‍යතාවලට සරිලන සේවා සමඟින් ගුණාත්මක මූල්‍ය සේවාවක් දීමට කැප වන බව මා විශ්වාස කරනවා.‘‘ යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published.