නව අගමැති ලෙසින් දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දී තිබෙනවා.

ඒ අද (22) පෙරවරුවේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදියි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යනු මෙරට දේශපාලන ඉතිහාසයේ 27 වැනි අග්‍රාමාත්‍යවරයායි.

1983 අතුරු මැතිවරණයෙන් මහරගමින් දේශපාලනයට පැමිණි දිනේෂ් ගුණවර්ධන මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු වූ බොරලුගොඩ සිංහයා ලෙසින් අර්ථකථනය කළ පිලිප් ගුණවර්ධනගේ පුත්‍රයායි.

මෙරට විවිධ ආණ්ඩු පත්වීමේ දී භාරදූර්ය වගකීම් රැසක් තමන්ට පැවරුණු තනතුරු සමග ද ඉටු කිරීමට දිනේෂ් ගුණවර්ධන සිය අමාත්‍ය ධුරයන්හිදී කටයුතු කළා.

මෙරට දේශපාලනය තුළ අධ්‍යාපන අමාත්‍ය, විදේශ අමාත්‍ය, කම්කරු අමාත්‍ය, ප්‍රවාහන අමාත්‍ය ඇතුළු ප්‍රධාන පෙළේ කැබිනට්‍ මණ්ඩල තනතුරු ද දිනේෂ් ගුණවර්ධන විසින් මෙහෙයවනු ලැබුවා.

එමෙන්ම සභා නායකවරයා වශයෙන් ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ දී දිනේෂ් ගුණවර්ධන කටයුතු කළා.

මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published.