ඉන්ධන බෙදා හැරීම ගැන ජනපතිගෙන් හදිසි තීරණ රැසක්

දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ පාර්ශවවලට උපදෙස් දී තිබේ.

ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද (ජූලි 23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

එළැඹෙන සඳුදා (ජූලි 25) සිට දිවයින පුරා පාසල් ආරම්භ කිරීමේදී පාසල් ළමුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇත.

ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද (ජූලි 23) ප.ව. 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.

ධීවර, සංචාරක සහ පොහොර බෙදා හැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන් ම, පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෙර ක්‍රමවේදයට අනුව ලංගම ඩිපෝ මගින් සහ දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවලදී ඉන්ධන නිකුත් කිරීමට එහිදී තීරණය කර ඇත.

ඉන්ධන පෝලිම්වල සිට වාහනවලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම කෙරෙහි ද අවධානය යොමු කර ඇති අතර ඊට අදාළ වැටලීම් පුළුල් කර අදාළ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දී තිබේ.

හඳුන්වා දුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර ඇත.

ඉදිරි ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

Leave a Reply

Your email address will not be published.