ඉදිරි පියවර ගැන පොලීසියෙන් දැනුම්දීමක්

නීතිමය රාමුව තුළ ඉදිරියේදීත් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටි පිරිස් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (23) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

පුද්ගලයෙකුට ලැබී තිබෙන අයිතිවාසිකම් අනුව සාමකාමීව රැස්වීම, විරෝධතා දැක්වීම තවදුරටත් සිදුකළ හැකියි.

ඇතැම්විට ඔබ විරෝධතා දක්වන ස්ථානය වෙනස් වුණත්..දැන් ගාලු මුවදොර විරෝධතා දැක්වීම සඳහා ලබාදී තිබූ ස්ථානයක්. නමුත් එය ඇතැම්විට ප්‍රමාණය ඉක්මවා යන තත්ත්වයක් නිරීක්ෂණය වෙන්න පුළුවන්.

නමුත් මෙම ස්ථානය නැතත් වෙන ස්ථානයක් රජය විසින් ඇතැම්විට ලබාදීමේ හැකියාව තිබෙනවා.

එවැනි ස්ථානයක වුණත් තමන්ට විරෝධතා දැක්වීමේ අවස්ථාව ලබාදෙනවා. ඒ අවස්ථාවේදී සාමකාමීව කටයුතු කරමින් විරෝධතා දැක්වීම ගැන පොලීසියේ විශේෂ අවධානයක් නැහැ. ඒ සඳහා අපේ බාධා කිරීමක් නැහැ.

නමුත් යම් පුද්ගලයෙක් ප්‍රචණ්ඩකාරීව, කලහකාරී ලෙස නීතිය හෑල්ලුවට ලක්කරමින් සහ නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් හෑල්ලුවට පත් කරමින් කටයුතු කරලා බාධා කරනවා නම් අපිට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න සිදුවෙනවා.

රට තුළ පවතින නීතිය හෑල්ලුවට ලක්කරමින් කටයුතු කිරීමට කිසිඳු පුද්ගලයෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

ගාලු මුවදොර අරගලකරුවන් අවස්ථා කිහිපයකදීම සාමාන්‍ය නීතිය අබිබවා යමින් කටයුතු කර තිබුණා.

ජනාධිපති මන්දිරයේ විශාල භාණ්ඩ ප්‍රමාණයකට හානි වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි තක්සේරු කරමින් ඉන්නා අවස්ථාවක තමයි ජනාධිපති ලේකම් කාර්යාලයෙත් එම සොයාබැලීම් සිදුකරන්න වුණේ.

මේ විමර්ශනවලින් පසුව තමයි එහි සිටි කාර්යමණ්ඩලවලට ඒ ගොඩනැගිලි භාර දෙන්න පුළුවන් වෙන්නේ.

හදිසි නීතිය යටතේ තමයි ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේ නීතිවිරෝධීව රැස්වී සිටි පිරිස් ඉවත් කළේ.

විදේශ රටවලින් පරිත්‍යාග කළ ත්‍යාග, තිළිණ සහ දේශීය පෞරාණික භාණ්ඩ මෙම ස්ථානවල තිබිලා තියෙනවා. ඒවා රැසක් අස්ථානගත වෙලා.

ඒ භාණ්ඩ ගැන ලේඛන පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒවා ගැන දැන් සොයාබලමින් සිටිනවා.

නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණොත් සමජයේ සාමය බිඳවැටෙනවා. ඒ තුළින් සමාජයේ පැවැත්ම බිඳ වැටෙනවා.

නීතිවිරෝධී විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලීසියට හෝ හමුදාවට කාලවේලාවක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් අපි අවස්ථා ගණනාවකදී කාලය ලබාදුන්නා. නිසි පරිදි ඉවත්වීම සිදු නොවුණු නිසා අපිට සිද්ධ වුණා නීතියට අනුව ක්‍රියාකරලා ඉවත් කරන්න.

මාධ්‍යවේදීන්ට පහරදුන් බවට සමාජ මාධ්‍ය තුළ පළවී තිබුණත් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි ලැබිල නැහැ. කෙසේවුවත් මේ ගැන ආරක්ෂක අමාත්‍යාංශය අවධානය යොමු කරලා තිබෙනවා.

ලෝටස් මාර්ගයේ ගමනාගමනය සම්බන්ධයෙන් බාධාවක් නැහැ. වහලා තිබෙන ප්‍රදේශ ගැන ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුම්දෙන්නම්. ඉදිරියේදී විවෘත කරන මාර්ග හෝ දින වකවානු ගැනත් පැහැදිලි කිරීමක් කරන්නම්.

Leave a Reply

Your email address will not be published.