වඳුරු උණ ගැන දරුවන්ට අනතුරු ඇඟවීමක්

වයස අවුරුදු 8ට අඩු දරුවන්ට වඳුරු උණ (Monkeypox) රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් ඇතැයි අමෙරිකානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වාදී තිබේ.

එමෙන්ම අලුත උපන් බිලිඳෙකු ද ඇතුලු දරුවන් දෙදෙනෙකු ද වඳුරු උණ ආසාදනය වී ඇතැයි එම මධ්‍යස්ථානය අද තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වඳුරු උණ රෝගය නිසා මේ දක්වා අප්‍රිකානු කලාපයෙන් මරණ 05ක් වාර්තා වී ඇති අතර වෙනත් රටවලින් මරණ වාර්තා වී නොමැත.

මෙම රෝගයේ මරණ සිදුවීමේ සම්භාවිතාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම්වලට අනුව සියයට 3ත් 6ත් අතර අගයක් ගන්නා බව සඳහන්ය.

මෙවැනි පසුබිමක වෛරසය ලොව පුරා අඛණ්ඩව ව්‍යාප්ත වීමේ අවදානම සලකා මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරස රෝගය පැතිරීම ලොවපුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ.

මෙය එම සංවිධානය කිසියම් රෝගයකට ප්‍රතිචාර දක්වන ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමය.

දකුණු ආසියානු රටවල් අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය හා ඉන්දියාවෙන් වඳුරු උණ ආසාදිතයින් වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවෙන් දැනට ආසාදිතයින් වාර්තා වී නොමැත.

කෙසේවෙතත් මෙම රෝගය පිළිබඳව අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර වඳුරු උණ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.

මේක ප්‍රධාන ලෙස පැතිරෙන්නේ අපේ ස්වසන මාර්ගය හරහා.. නැත්නම් හම මතින්. මේක හැදෙන්න පුළුවන් සත්තුන්ගෙන්. ඒ වගේම මිනිස්සුන්ගෙන්. ඒ වගේම එ්වා ගෑවුණු ඇඳ ඇතිරිලිවලින්, කෑම, කෝප්ප, පිගන්වලින්.

මේ රෝග විනිශ්චය කරන්න පුළුවන් PCR පරීක්ෂණයක් මගින්. රෝගය පිළිබඳව පර්යේෂණය කිරීමට අවශ්‍ය සියලුම පර්යේෂණ කට්ටල මේ වනවිට අප විද්‍යාගාර සතුව තියෙනවා. ඒකට අවශ්‍ය බෙහෙත් වර්ගත් නිෂ්පාදනය වෙලා තියෙනවා.

අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ වඳුරු උණ
ආසාදිතයින් ගණන 4 ක් දක්වා ඉහළ ගියේ නවදිල්ලි අගනුවරින්ද අද ආසාදිතයෙකු තහවුරු වීමත් සමගය.

වසංගත ඉතිහාසය සැලකීමේදී සාමාන්‍යයෙන් වඳුරු උණ වෛරසය මධ්‍යම හා බටහිර අප්‍රිකානු කලාපයේ රාජ්‍යයන්ට පමණක් සීමාවී පැතිරුණු රෝගයක් විය.

නමුත් එම තත්ත්වය උඩුයටිකුරු කරමින් මේ වසරේ එක්සත් රාජධානියෙන් ආසාදිතයෙකු වාර්තා වන්නේ පසුගිය මැයි මස 06 වනදාය.

එම ආසාදිතයා නයිජීරියාවේ සංචාරය කළ අයෙකු බව පසුව හඳුනාගැනුණි.

ඉන්පසුව වත්මන් වඳුරු උණ පැතිරීමේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්කරමින් ජර්මනිය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤය ඇතුළු රටවලින් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගියේය.

ඉන් නොනැවතී අද වනවිට උතුරු අමෙරිකාව,දකුණු අමෙරිකාව, ආසියාව හා ඔස්ට්‍රේලියාව යන මහද්වීපවලට අයත් ලොව පුරා රටවල් 75කින් ආසාදිතයින් 16,000කට වඩා හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.