සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවට අගමැති ප්‍රමුඛ කණ්ඩායමක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා කර නොපමාව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඊයේ (24) පවසා ඇත.

ඒ අනුව සියලු පක්ෂ හා කණ්ඩායම්වල නයකයන් සමඟ ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවද එම ප්‍රකාශකයා කීවේය. එහි පළමු සාකච්ඡාව හෙට දිනයේ සිදු කිරීමට නියමිත බව එම ප්‍රකාශකයා තවදුරටත් අනාවරණය කළේය.

මේ වන විට රට තුළ ඇතිවී තිබෙන අර්බුදවලට සියලු පාර්ශ්වයන් එක්කරගනිමින් විසඳුම් සෙවීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවද ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම සාකච්ඡාවලින් පසුව කැබිනට් ඇමැතිවරු සංඛ්‍යාව තීරණය කෙරෙනු ඇත. දැනට ව්‍යවස්ථානුකූලව ඇමැතිකම් දිය හැකි උපරිම සංඛ්‍යාව 30ක් වන අතර රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 40කි. ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඇමැතිධුර සංඛ්‍යාව අවශ්‍යතාව අනුව වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතිය ගත යුතුය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් මෙම සාකච්ඡා සම්බන්ධීකරණය කරනු ඇතැයි ද එම ප්‍රකාශකයා කියා සිටියේය.

මේ පිළිබඳ පළමු සාකච්ඡාව හෙට (26) දිනයේදී පැවැත්වීමට නියමිත බව ද එම ප්‍රකාශකයා තවදුරටත් කීවේය.

ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ඉකුත් 20 වැනිදා පැවැති ඡන්දය අවසානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ඩලස් අලහප්පෙරුම හා අනුර දිසානායක මහත්වරුන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට එකතුව යන ගමනකට ආරම්භකරමින් සාර්ව පාක්ෂික ආණ්ඩුවක වැදගත්කම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.