ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමිව රැස් වීමේ අයිතිය තහවුරු කරනවා

රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව නිරතුරුව කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

පසුගිය සිකුරාදා (22) කොළඹ දී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමඟ පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කළේය. නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි.

පළවූ වැරදි සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් ආකාරයට ආරක්ෂක අංශ ගෝඨා ගෝ ගම ඉවත් කර නොමැති බව එම විරෝධතා ප්‍රදේශය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය යන දෙකම රජය විසින් තහවුරු කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපළ වෙනත් අරමුණුවලට බාධා කිරීමට විරෝධතාකරුවන්ට අවසර නොදෙන බව ඇමරිකානු සිවිල් නිදහස් සංගමය දුන් උපදෙස්වලත් සඳහන් බව ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කළේය.

දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරය තුළ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ද ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කළේය. විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය වැනි කොළඹ ඇතුළත පහසුකම් සියල්ල ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා දෙන බවත් ජනාධිපතිවරයා පැහැදිළි කළේය. ජනාධිපති කාර්යාලය මුදා ගැනීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සියලු දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළුව අනුගමනය කරන ලද නීතිමය මාර්ග පිළිබඳ ද නීතිපතිවරයා විසින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කළේය.

Leave a Reply

Your email address will not be published.