ඉන්ධන අවසර පත අත්හදාබැලීම් සාර්ථකයි

ජාතික ඉන්ධන අවසර පත් නියමු ව්‍යාපෘතියේ ඊයේ (24) දිනයේ ස්ථාන 20ක අත්හදාබැලීම් සාර්ථක බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවැසීය. මේ සඳහා රථවාහන 4,708ක් යොදාගත් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

ජාතික ඉන්ධන අවසරපතට අනුව සහ වාහන අංක තහඩුවේ අවසන් අංකයට නම් කරන ලද දිනවලට ඉන්ධන සැපයීම අද (25) සිට ලංකාව පුරා සියලුම ඉන්ධනහල් හි ක්‍රියාත්මක කෙරේ. ඊට අමතරව කිව්.ආර්. කේතයට අනුව ඉන්ධන නොදෙන ඉන්ධනහල්වල වාහන අංක තහඩුවේ අවසන් අංකයට නම් කරන ලද දිනවලට ඉන්ධන සැපයීමත් රට පුරා අද සිට ක්‍රියාත්මක කෙරේ.

ජාතික ඉන්ධන බලපත්‍රයේ සඳහන් කිව්.ආර්. කේතය අත්හදාබැලීමේ නියමු ව්‍යාපෘතිය කොළඹින් පිටත පළාත්වල අත්හදා බැලීම දෙවැනි දිනටත් ඊයේ (24) සිදු කෙරිණි.

පසුගිය 21 වැනි දා කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල දියත් කෙරුණු මෙම කිව්.ආර්. කේතය මත ඉන්ධන නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය 23 වැනිදා පළාත් 9ට අදාළ දිස්ත්‍රික්ක 25කදී ක්‍රියාත්මක කෙරිණි.

ඊයේ දිනයේද රටේ ස්ථාන 20කදී නියමු ව්‍යාපෘතිය දියත් කෙරිණ.

මේ වන විට ජාතික ඉන්ධන අවසර පත 3,523,729කට අධික පිරිසක් ගෙන තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ජාතික ඉන්ධන අවසරපත පිළිබඳ ජනතාව සුබවාදී අදහස් දැක්වුවත් අදාළ දිනවලදී ඉන්ධන ගැනීමට පැමිණෙන රථවාහනවලට ප්‍රමාණවත් පරිදි ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම නොකිරීම සම්බන්ධයෙන් ජනතාව මෙම වැඩපිළිවෙළේ දුර්වලතාවක් ලෙස පෙන්වා සිටියහ. මෙම ගැටලුව සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථා බලධාරීන්ගේ ද අවධානය යොමුව ඇති බව ද පැවැසේ.

කෙසේ වෙතත් ඉන්ධන අවසරපත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පෙර තිබූ ඉතා දිගු ඉන්ධන පෝලිම් මේ වන විට දක්නට නොලැබෙන තත්ත්වයක් ඇති වෙමින් පවතී.

මීට අමතරව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාතංශයට අනුබද්ධිත ජාතික තරුණසේවා සභාව සහ යොවුන් සේනාංකය ද, විවිධ තරුණ සංවිධාන සහ ආයතන ස්වේච්ඡාවෙන් ම ජනතාවට ඉන්ධන අවසර පත බාගත කිරීමට සහ මුද්‍රිත පිටපත් දීම් රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.