ජනපති මැදුරෙන් පෞරාණික ධජ 40ක් අතුරුදන්

ඈත අතීතයේ සිට මෙරට පාලනය කළ රජවරුන්, ජනාධිපතිවරුන් සහ විදේශීය නායකයන් සංකේතවත් කිරීම සඳහා ජනාධිපති මන්දිරය තුළ තැන්පත් කර තිබූ විශාල ධජ 40ක් පමණ ජනාධිපති මන්දිරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයේ සිට ආරක්ෂිතව අලංකාර ලෙස සකසා තැන්පත් කර තිබූ මෙම ධජ විශාල පෞරාණික වටිනාකමකින් යුතු ඒවා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය.

මේ නිසා මෙම ධජ අනාගත පරපුරට දැකබලා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ත් මෙරට පාලනය කළ සෑම ජනාධිපතිවරයෙකුම ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ධජ සහ එහි තිබූ කෞතුක භාණ්ඩ ආරක්ෂා කර තිබූ බවත් හෙතෙම කීය.

ඉකුත් දින ජනාධිපති මන්දිරයට අරගලකරුවන් සමග කඩා වැදුණු පිරිස් සහ එය නැරඹීමට පැමිණි පිරිස් මෙම ධජ හා කෞතුක භාණ්ඩ රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

අතුරුදන් වී ඇති ධජ සහ කෞතුක වස්තූන් සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් පවත්වන බව ද කියයි.

මේ අතර, ජනාධිපති මන්දිරයට මේ නිසා සිදුව ඇති හානිය ඉතා විශාල බව ත් එය තක්සේරු කළ වාර්තා මෙතෙක් ලැබී නැති බව ත් වාර්තා වේ.

ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට හානි කළ සහ එම ස්ථානවල තිබූ භාණ්ඩ සොරාගත් පුද්ගලයන් 100ක් පමණ අදාළ විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සෙසු පොලිස් කණ්ඩායම් විසින් හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

මෙම පුද්ගලයන්ගේ තොරතුරු මේ වනවිට විමර්ශන නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් විසින් එකතු කරමින් සිටින බව ද කියයි.

එම විමර්ශනවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් කරන බව පැවසේ.

මේ අතර, ජනාධිපති මන්දිරයට සිදුකර ඇති හානිය සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතා පත්කර ඇත.

කොටුව පොලිසිය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර, අපරාධ වාර්තා කොට්ඨාසය සහ ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුව ද එම විමර්ශන එක්වී එහි හානිය සහ සෙසු විමර්ශන සිදුකර තිබේ.

මේ අතර, අරගලකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදීම නිසා ඉහළ මාලයට පිවිසෙන පියගැටපෙළට ද දැඩි හානි සිදුව ඇතැයි වාර්තා වේ.

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් එම පියගැටපෙළේ බාල්ක ගැලවී ඇති අතර එය පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නැවත ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත්, එහි ඇති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දේපළවලට සිදුව ඇති හානිය ගණනය කළ නොහැකි බවට පුරාවිද්‍යා නිලධාරීන් පවසා ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මන්දිරයේ පියගැටපෙළ ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් කෝටි දහයකට වඩා වැඩි මුදලක් වැයවෙනු ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.